ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොදු දේපොළ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඉල්ලා අස් කර ගන්නා ලදි.
වැඩ බලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි. එහිදී පෙත්සම්කාර හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අවසර ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එම ඉල්ලීමට අවසර ලබා දුන්නේය.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස තමන්ට කැඳවීමක් ලැබුණු බව පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
මුල්වරට කැඳවීම සිදුකළ දිනයේ තමන්ට එහි යෑමට නොහැකි වුවද ඉකුත් පෙබරවාරි මස 02 වැනිදා එහි පෙනී සිටි බව පෙත්සම්කරු සඳහන් කර තිබුණි. එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
තමන්ව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම පොදු දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණවිය පෙනී සිටියාය.