Wednesday, April 23, 2025
Home » මුළු කෘෂිකර්මාන්තයම කාබනික කරලා කෘෂිකර්මාන්තය ගොඩදාන්න බෑ

මුළු කෘෂිකර්මාන්තයම කාබනික කරලා කෘෂිකර්මාන්තය ගොඩදාන්න බෑ

මහාචාර්ය ඒ.එම්.ජේ.බී. අධිකාරි

by damith
October 12, 2024 1:10 am 0 comment

සකුන්තලා ජයසිංහ
  • කෘෂිකර්මාන්තයෙන් දේශීය ආර්ථිකයට ලබාගෙන ඇති පිටිවහල ප්‍රමාණවත් නෑ
  • ඕනෑම වෘත්තියක් පවතින්නේ සෑහීමට පත් විය හැකි ආදායමක් ලැබුණොත් පමණයි
  • කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමට විභවතාවක් අප සතුයි

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් ශිෂ්ටාචාරවත් වූ රටක් ලෙස ඉතිහාසය සාක්ෂි දරයි. රට සහලින් ස්වයංපෝෂිත වීම වනාහි අතිතයේ මෙරට සෛවරීත්වය මොනවට කියාපාන්නකි. ණයගැතිභාවයක් පිළිබඳව ඉඟියක් හෝ අතිත වංශ කතාවේ සඳහනක් නොමැත. අතීතය වර්තමානයට එලෙසින්ම ගැළපිය නොහැකි මුත් අතීතයේ හැසිරීම් තුළින් වර්තමානය හැඩගස්වා ගත හැකිය. එළඹෙන මැතිවරණය සහ ආර්ථික අර්බුදයට පිළියම් යන මාතෘකාවට සමාගාමිව කෘෂිකර්මාන්තයෙන් ආර්ථික අර්බුදයට පිළියම් සෙවිය නොහැකිද යන්න පිළිබඳව රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ඒ. එම්. ජේ. බී. අධිකාරි මහතා සමඟ කළ සංවාදයකි මේ.

වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය කොපමණද?

නවතම දත්ත විශ්ලේෂණය කර බලන විට දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට 7 – 8ක් පමණ වෙනවා. එය මීට පෙර සියයට 5ක් වැනි අගයකයි පැවතියේ. අපට තිබිය යුතු අභියෝගාත්මක මුත් ජාතික ඉලක්කය විය යුත්තේ එය සියයට 15ක් දක්වා වැඩි කර ගැනීමයි.

සෙසු රටවල්වලට සාපේක්ෂව බලන විට කෘෂිකර්මාන්තයෙන් දේශීය ආර්ථිකයට බද්ධ වී ඇති ප්‍රමාණය පිළිබඳව සෑහීමට පත් විය හැකි ද?

අපට අසල්වැසි ඉන්දියාව ද කෘෂිකාර්මික රටක් ලෙස ගොඩනැඟුන රාජ්‍යයක්. නමුත් අද ඔවුන් ඉන්දියානු ආර්ථිකය සවිබලගන්වන වෙනත් ක්ෂේත්‍ර රැසක් විවර කර තිබෙනවා. නමුත් ඔවුන් කෘෂිකර්මාන්තය සහමුලින්ම අත්හැරදමා නෑ. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂීකර්මාන්තය සියයට 17 – 18ක් දායක කරගෙන තිබෙනවා. පාකිස්තානයේ නම් එය සියයට 19ක්. කෘෂිකර්මාන්තය මත ගොඩනැඟුණු සෑම රටකම එය සියයට 10 දක්වාවත් පවත්වාගෙන යනවා. ඒ අතින් බලන විට අපි කෘෂිකර්මාන්තයෙන් දේශීය ආර්ථීකයට ලබාගෙන ඇති පිටිවහල කිසිසේත්ම ප්‍රමාණවත් නෑ.

ඒ වගේම අපේ ශ්‍රම බළකායෙන් සියයට 30ක් කෘෂිකර්මාන්තයේ නියැළෙනවා. අපි පෙර සඳහන් කළ බොහෝමයක් රටවල එය සියයට 50ක් පමණයි. මෙයින් අපිට පැහැදිලි වන්නේ තවදුරටත් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් ආර්ථීකය ශක්තිමත් කිරීමට තවමත් විභවතාවක් අප සතු බවයි.

ඔබ විභවතාවක් පවතින බව සඳහන් කළත්, මේ වන විට ගොවිතැන හා බද්ධ වුණු පිරිස් මේ ක්ෂේත්‍ර‍ෙයන් ගිලිහී යමින් සිටිනවා නේද?

ඕනෑම වෘත්තියක් පවතින්නේ සෑහීමට පත් විය හැකි ආදායමක් ලැබුණොත් පමණයි. ඉකුත් කාලවකවානුව තුළ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය සහ ගොවියාගේ ආර්ථීක ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබුණේ නෑ. නමුත් විභවතාව යනුවෙන් හඳුන්වන්නේ කාෂිකර්මාන්තය ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත් කර ගැනීමට හැකියාව පවතින බවයි. නමුත් මේ යන ක්‍රමයට කෘෂිකර්මාන්තය අරගෙන ගියොත් එම විභවතාව දියාරු වෙනවා. මෙතෙක් සිදුව ඇත්තේ ජාතික ආර්ථිකය සවිබලගැන්වීමට අවශ්‍ය වන ආකාරයට මේ ක්ෂේත්‍රය හැසිරවීම සිදු නොවීමයි. යැපුම් කෘෂිකර්මයකට තමයි වැඩි බරක් ලබා දී තිබුණේ. ලෝකයේ සෙසු රටවල් වගේම අපිටත් අද රටේ පවතින ආර්ථික ගරාවැටීමෙන් රට ගොඩගැනීමට නම් අපනයන කෘෂිකර්මානතයත් එසේත් නොමැති වාණිජ ක්ෂේත්‍රයක් ලෙස ප්‍රවර්ධනය කිරීම කළ යුතුමයි.

කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී අපිට තිබෙන බාධාවන් මොනවාද?

කාලයක් තිස්සේ හැඩ ගැසුණු යාන්ත්‍රීකරණයේ පැහැදිලි ගැටලු තිබෙනවා. ඒ වගේම අපට පාලනය කළ හැකි සහ නොහැකි ස්වභාවික අභියෝගත් තිබෙනවා. කෘෂිකර්මාන්තය කියන්නේ වී, තේ, පොල්, රබර් වැනි අපනයන භෝග, එළවළු පලතුරු, මල් , ඖෂධ මේ සියල්ලම මේ ක්ෂේ ත්‍රයට ගැනෙනවා. විශේෂයෙන් වී, එළවළු, පලතුරු ආදිය වගා කිරීමේදී ගොවීන් මුහුණ දෙන ප්‍රවර්ධනයට ඇති ගැටලුව උසස් තත්ත්වයේ බීජ නොමැති විමයි. අද අප සතුව තිබෙන්නේ ආනයනික බීජ. අද ලෝකයේ තිබෙන්නේ බීජ කොල්ලයක්. අපට තවමත් හැකි වී නෑ බීජ ටික නිෂ්පාදන කර ගැනීමට. ලංකාවේ මුදල් පිටරටට දීලා අපි බීජ ගෙන්වනවා. ඒ වගේම යාන්ත්‍රිකරණය, වැඩි දියුණු කළ තාක්ෂණිත ශිල්ප ක්‍රම භාවිතයෙන් අපි තවමත් ඉන්නේ පසුගාමී තත්ත්වයක. වාණිජ කෘෂිකර්මයට යන්නේ නම් වැඩි දියුණු කළ තාක්ෂණයකට යන්න වෙනවා.

ඒ වගේම වෙළෙඳපොළ සහ මිල අර්බුදය තමයි කාලාන්තරයක් තිස්සේ ගොවීන්ට ගොවිතැන එපා කර වීමට හේතු වී තිබෙන්නේ. දේශගුණික බලපැම්වලින් ද අපිට යම් බාධාවන් තිබෙනවා. නමුත් ඒවා අවම කර ගැනීමට ක්‍රමෝපායන් සොයා ගත හැකියි.

මිල සහ වෙළෙඳපොළ ප්‍රශ්නය කෘෂිකර්මාන්තයේ කඩා වැටීමට බලපා තිබෙන්නේ කොහොමද?

ඇත්තෙන්ම මේ ප්‍රශ්නය කෘෂිකර්මාන්තය වෙළාගෙන තිබෙන දැවැන්ත සහ පැතිරුණු පිළිලයක්. මෙය නොවිසඳා කෘෂිකර්මාන්තයේ පුනරුදයක් ගැන කතා කරන්න බෑ. ගොවියා ආරක්ෂා කර ගැනීමේ පදනම තිබෙන්නේම මෙතැනයි. රටේ වැඩි පිරිසක් ගොවීන් නම් ඔවුන් අතින් විශාල අස්වනු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. නමුත් අස්වනු ටික විකුණා ගැනීමට වෙළෙඳපොළක් නෑ. අතරමැදියන් තමයි වෙළෙඳපොළ හසුරුවන්නේ. එතැනදී ගොවියා කම්කරුවෙක් ගණනට වැටෙනවා. ඉන්දියාවේ ගොවියා වෙළෙඳපොළ සමඟ ඝෘජුව සම්බන්ධ වෙනවා. නිෂ්පාදනයෙන් ලැබෙන මුළු ආදායම ගොවියා අතටයි යන්නේ. ලංකාවේ තත්ත්වය මාෆියාවක්. අතරමැදියෝ කිහිපදෙනෙක් ඉන්න නිසා මිල උච්ඡාවචනය වෙනවා. ලාභයක් නෑ. අඩුම තරමින් ජීවන වියදමවත් පියවා ගැනීමට නොහැකි නම් මිනිස්සු ගොවිතැන අතහරිනවා.

වැරැදි ආනයනික ප්‍රතිපත්ති නිසාත් මේ දේ වෙන්නේ නැද්ද?

ලංකාව කෘෂිකාර්මික රටක් නිසා දේශීය ආර්ථීකයට ඉන් ජවයක් ලබා ගැනීමට නම් දේශීය නිෂ්පාදනවලින් උපරිම මිලක් ගොවියාට ලැබෙන්න ඕනෑ. නමුත් ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති නිසා ඒ තැන ඇහිරිලා තිබෙනවා. අඩුවට විදෙස් රටවලින් ආනයනය කරනවා. ලුනූ ගොවියාට අත් වී තිබෙන ඉරණම මීට හොඳම උදාහරණයක්. දේශීය අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍යම ලූනු අපිට නිෂ්පාදනය කර ගත හැකියි. නමුත් ලූනූ අස්වැන්න නෙළන කාලයට ආනයනය කරනවා. මේ වැරැදි තීරණ නිසයි මේ ක්ෂේත්‍රය අර්බුධවලින් හෙම්බත් වෙලා තිබෙන්නේ.

ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික වගාවක් කිරීමට යාමෙන් ඇති වුණු අර්බුදයත් අද තිබෙන ආර්ථික කඩා වැටීමට හේතු වුණා නේද?

සමස්ත කාෂිකර්මාන්තයම කාබනික කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නෑ. වාණිජ කාෂිකර්මාන්තයෙන් වැඩි අස්වැන්නක් තුළින් තමයි එහි විභවතාව වැඩි වෙන්නේ. මුළු කෘෂිකර්මාන්තයම කාබනික කරලා ගොඩදාපු රටවල් ලෝකයේ නෑ. මේ රාජ්‍ය මට්ටමින් මෙන්ම රජයට උපදෙස් ලබාදුන් ඇතැම් නිලධාරින්ගේ අමනෝඥ තීරණ. නමුත් කාබනික කෘෂි නිෂ්පාදන සඳහා ජාත්‍යයන්තර වෙළෙඳපොළ කියන්නේ පාරාදීසයක්. කාබනික නිෂ්පාදන විදිහට විදෙස් වෙළඳපොළට ඉදිරිපත් කළ හැක්කේ මොනවාද කියලා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කරන්න තිබුණා. එළවළු, පලතුරු අතර ඇතැම් ඒවා විදෙස් වෙළෙඳපොළට යැවිය හැකියි. නමුත් සියල්ලම නෙමෙයි. මේවා තෝරා බේරා නොගෙන ඒ ගන්නා ලද තීරණ කෘෂිකාර්මික ඉතිහාසයේ මන්දගාමී සහ කඩා වැටුණු කාල පරිච්ඡේදයක් වෙනවා.

අද කතා කරන්නේ ඩොලර් අර්බුදයක් ගැන. ඩොලර් උත්පාදනයට කෘෂිකර්මාන්තය හැඩගැස්විය නොහැකි ද?

ඇයි බැරි. දැනටමත් අපි යම් යම් ක්ෂේත්‍රවලින් ඩොලර් උපයනවා. තේ, පොල්, රබර්, සුළු අපනයන භෝගවලින් රටට ඩොලර් එනවා. නමුත් ප්‍රමාණවත් නෑ. අද ජාත්‍යන්තර වෙළෙඳපොළ බොහොම තරගකාරියි. අලුතින් එක්වුණු රටවල් ජාත්‍යයන්තර වෙළෙඳපොළ අල්ලාගෙන තිබෙනවා. පරණ සළුපිළි අන්දවා මේ තරගයට යන්න බෑ. නිෂ්පාදන විවිධාංගිකරණය, අගය එකතු කළ නිෂ්පාදන, ප්‍රමිතිය සහ ගුණාත්මය, ආකර්ෂණිය බවටයි නිෂ්පාදන සඳහා ඉල්ලුම තිබෙන්නේ. සිලෝන් ටී නාමය අපි හදා ගත්තේ එහෙමයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ නව ප්‍රවණතා මොනවාද?

වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ එළවළු, පලතුරු, මල්, ස්වාභාවික ඖෂධ, සුළු අපනයන භෝගවලට. කුරුඳු , ගම්මිරිස්, කරාබුනැටි ආදිය අපනයනයෙන් 2023 වසරේ ඩොලර් මිලියන 500 අපි උපයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරුවලට මැද පෙරදිග හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. ඒ තත්ත්වය රැක නොගත්තොත් ගෝලීය තරගකාරිත්වයෙන් අපි හැලෙනවා. ඒ වගේම අද කතා කරන්නේ සක්‍රීය සහ දැනුම්වත්භාවයෙන් පරිපූර්ණ ගොවි ව්‍යවසායකයෙක් ගැනයි. ඩිජිටල් කෘෂිකාර්මික වේදිකා (Agriacultural flat form ) අද බොහොම ජනප්‍රියයි. මිල ගණන් යාවත්කාලීන වීම, කාලගුණික තොරතුරු ආදිය එසැණින් දැන ගැනීමට තමයි මේ ක්‍රමය සාදා තිබෙන්නේ. විශේෂයෙන් ජංගම දුරකතනය අන්තර්ජාලය සමඟ සිටින කෘෂිකර්මාන්තයේ නියැළෙන තරුණ පිරිස්වලට මේවාට පිවිස තොරතුරු ලබා ගන්න පුළුවන්.

කෘෂිකර්මාන්තයේ විභවතාව වැඩි කිරීමේදී සංචාරක ව්‍යාපාරයට එය බද්ධ කර ගත නොහැකිද?

AGRO TOURISM සහ ECO TOURIM යනු අද ලෝකයේ නව ප්‍රවණාතවයක්. විශේෂයෙන් යුරෝපා රටවල සංචාරකයින් මේ අත්දැකීම විඳගන්න ආසියාතික රටලවට එනවා. ඔවුන් අපේ ආහාර, වගා ක්‍රම, පරිසරය අත්දකින්න සහ අත්විඳින්න කැමතියි. ඒ ප්‍රවණතාව සමඟ කෘෂිකර්මාන්තය බද්ධ කර ගත්තොත් ඩොලර් ඉල්ලම් පාදාගන්න පුළුවන්. අපි එහෙම කියන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට සංචාරක ව්‍යාපාරය වඩාත් ප්‍රශස්ථ පිළියමක් නිසයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ හැසිරීම එහෙම නම් අපි අපේ කෘෂිකර්මාන්තයට එක් කර ගත යුතු නවීකරණ මොනවාද?

අපි මුලින් සඳහන් කළ පිරිදි අපිට අවශ්‍ය වන්නේ රටට ආදායම් උත්පාදන මාර්ගයක් මේ තුළින් විවර කර ගැනීමයි. එසේ නම් වාණිජ කෘෂිකර්මාන්තය ශක්තිමත් කළ යුතුයි. පර්යේෂණ ක්ෂේත්‍රය පුළුල් කර නවෝත්පාදන ප්‍රවර්ධනය කළ යුතුයි. පර්යේෂණ හඳුන්වා දීම් කඩිනමින් ජනතාව අතරට යා යුතුයි. භූමියෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. උදාහරණය තේ. තේ අලුතින් වගා කළ හැකි භාවිතයට නොගත් බිම් තවමත් භූමියේ තිබෙනවා. ඒ වගේම පසු අස්වනු තාක්ෂණය වැඩි දියුණු කළ යුතුයි. කෘෂිකර්මාන්තයට සමාගමීව පරිසරය සංරක්ෂණය කළ යුතුයි. ගොවිතැන නිසා මුඩුබිම් බිහිවිය යුතු නෑ. මේ සියලුම කාරණා සඳහා රාජ්‍ය තන්ත්‍රය මැදිහත් වීම අවශ්‍යයි. නිෂ්පාදන කාර්ය පෞද්ගලික අංශයට දීමේ කිසිදු වරදක් නෑ. ඒ වගේම තරගකාරිත්වයෙන් යුතුව මිල දී ගැනීමේ රජය සහ පෞද්ගලික යන දෙඅංශයම සම්බන්ධ විය යුතුයි. මෙය තවදුරටත් පැහැදිලි කළොත් ඵලදායිතාව, වාරිමාර්ග (SMART IRIGATION), නවීකරණය, තිරසරභාවය, ආහාර සුරක්ෂිතා, පාරිසරික සෞඛ්‍යය තහවුරු කිරීම යන කාරණාවලට පුමුඛත්වය ලබා දෙමින් රටට මුදල් ගලාගෙන එන සහ ජාතික ආදායම තර කරන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්මාන්තය ශක්තිමත් කළ යුතුයි සහ එය කළ හැකියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT