රතන් ටාටා අපට සමුදී ඇත්තේය. ටාටා සමූහ ව්‍යාපාරය ගෝලීය කීර්තිමත් ආස්ථානයක් කරා ගෙන එන ලද්දේ ඒ මිනිසාය. රතන් උපත ලැබුවේ උරුමයක් සහිත පවුලකය. ධනවත් පවුල්හි උපදින දරුවන් සිය උරුමය රැකගැනීමේ ආශාව ඇත්තේ වුවත් ඔවුන් සැරිසරන ජීවන ප්‍රවාහය අත්පත් කර දෙන්නේ, මහන්සි වීමේ රටාවක් නොවේ. පවුල් උරුමයේ සැපයට වහල්වී නිකම්මු හෝ නාස්තිකාර වීම මෙවන් පවුල්හි සුලබ ලක්ෂණයකි.
රතන් වනාහි ටාටා පරපුරේ ඊළඟ උරුමය විය. කාබාසිනියා ලකුණ දරන පරපුර වන්නේ මේ පිරිසය. තුන් පරම්පරාවක් තිස්සේ රැස් කර ගත් ධනය, එක් පරම්පරාවක් පහසුවෙන්ම විනාශ කරන, මේ පරපුර වෙත කියනුයේ ‘සීයලා, තාත්තලා කන් හැන්දෙන් රැස් කළ ධනස්කන්ධය, සවලෙන් වියදම් කරන පිරිස’ කියාය. රතන් ටාටා ගමන් කළේ ඊට වෙනස් මානයකය. ඉන්දීය කාර්මික ප්‍රවාහය සඳහා ව්‍යවසායකත්වය සපයන ලද ටාටා ව්‍යාපාරය, රතන් අතට පත්වෙන විට කාලය වෙනස්ව පැවතුණේය. ඒ හේතුවෙන් ව්‍යාපාරයේ තාලය වෙනස් කළ යුතුව තිබුණි. එය වනාහි සිදු කළ යුතු, එසේ වුවත් අවදානම්සහගත කටයුතුය.
සරල ජීවිතයක් ගත කළ රතන් ටාටා, ව්‍යාපාර පිළිබඳව තීන්දු ගන්නා ලද්දේ සංකීර්ණ ආකාරයෙන් කල්පනා කර, විධිමත් සැලසුම් ප්‍රකාරවය.
පවුලේ උරුමය ඇත්තේ වුවද, ඔහු ‘ටාටා ස්ටීල්’ හි ආධුනිකයකු ලෙස සේවය කළේය. එය ආරම්භය වූ හෙයින්, ව්‍යාපාරයේ උඩපහත සියලු ස්ථාන කරා එකවර කල්පනාවේ නිමග්න වීමේ ශක්‍යතාව ඔහු සතුවිය. උපාධිය ලැබීමෙන් පසු, ඔහු ටෙල්කෝ හෙවත් ටාටා මෝටර් සමාගමේ සහ ටාටා ස්ටීල් ඇතුළු විවිධ සමූහයේ භාරකාරයා විය.
අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම ව්‍යාපාරයක නියමුවකු සතු අනර්ඝ හැකියාව හෙයින් ඔහු එය මැනවින් ප්‍රගුණ කළේය. එය ඔහු පුරුදු වූවේ සිය මිත්තණියගෙනි. තම මව වෙනත් විවාහයක් සිදු කර ගැනීම ඔහුගේ ජීවිතයට අඳුරු පැතිකඩක් එක් කළේය. පාසල් මිතුරෝ නිරන්තරව ඒ පිළිබඳව ටාටා වෙත සමච්චල් කළහ. රණ්ඩු සරුවල් ආදියෙන් තොරව ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය ඔහුට උගන්වන ලද්දේ මිත්තණිය විසිනි. ඔහු පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීම හදාරන ලද්දේ ඇයගේ පුහුණුව මඟිනි.
මේ ආකාරයෙන් රතන් ටාටා නම් ‘මහ පොත’ අපට කිව හැක්කේය. ඉන්දීය සමාගමක් විසින් ලෑන්ඩ් රෝවර් සහ ජගුවර් සමාගම් මිලට ගත්තේ යැයි අදහාගත නොහැක්කේය. එවන් හපන්කම් සිදු කරන ලද්දේ ටාටාගේ නායකත්වය යටතේය. ඉන්දියාව ලෝකයේ දෙවැනි ආර්ථිකය බවට පත්වීමේ ඉලක්කය යනු ඉන්දීය දේශපාලන හස්තයේ තනි වුවමනාවක් හෝ හැකියාවක් නොවේ. මෙවන් මිනිසුන්ගේ විදග්ධභාවය එහි පාදම වන්නේය. රතන් ටාටා පිළිබඳව අප කියැවිය යුත්තේ මේ රටේ අනාගතය දෙස බලාගෙනය.
ශ්‍රී ලංකාව දැන් සිටිනා ආර්ථික අවුලෙන් එළියට පැමිණීම සඳහා එකම වාරුව මූල්‍ය අරමුදල නොවේ. එවන් එකඟතා ඇතිකරගෙන ගමන් කිරීම පිළිබඳව අපට අවුලක් නැත. එහෙත් මේ රටේ ආර්ථිකය නඟා සිටුවිය හැක්කේ ඒ ආකාරයෙන් නොවන බව කිවයුත්තේය. රටේ නිෂ්පාදන ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා රජය දිරි දෙන අතරේ, පෞද්ගලික ව්‍යවසායකයා සිය කාර්යය ඉටු කළ යුත්තේය. මේ රටට එන ආයෝජකයෙක් හෝ මෙරට සිටින ව්‍යාපාරිකයෙක් අලුත් ගමනක් යෑමට සැරසෙන විට පළාතේ සිටින චණ්ඩියාගේ සිට මන්ත්‍රී, ඇමැති ආදී හැමෝටම කප්පම් දිය යුත්තේය. ඡන්දය කාලයට හැම පිලකටම බෑගය බැගින් යැවිය යුතුය. මේ ආදී අනේක විජ්ජුම්බර මධ්‍යයේ මේ රටේ ව්‍යාපාර සිදු කරගෙන යන්නේය. තුන පහ පැකට් කරනා ව්‍යාපාරිකයාගේ සිට ඉහළම ස්ථානය දක්වා බිස්නස් මන්ලා ව්‍යාපාර කරගෙන යනවාට වඩා මහන්සියක්, එය අනෙක් එකාගෙන් බේරා ගැනීම සඳහා සිදු කරන්නේය. ආණ්ඩු විරෝධී නම්, වෙනම ටැක්ස් ගසා හෝ ව්‍යාපාරයට කෙනෙහිලිකම් කරන්නේය. ඒ ආදී කකුලෙන් ඇදීම් ආදිය බහුලය.
මේ බාධක සිඳ දමා මේ රටේ වණික් ප්‍රජාවගේ ආගමනය සඳහා අප පාවඩ එළිය යුත්තේය. ලෝකය වෙත රටක් ගමන් කිරීම සඳහා ආර්ථික ශක්තිය ගෙන එන්නේ ව්‍යවසායකයාය. එයිනුත් නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් ව්‍යාපාරිකයාය. රතන් ටාටා වනාහි නූතන ඉන්දියාව ලෝකයට ගෙන ගිය එවන් ව්‍යවසායකයෙකි. ඒ ආදර්ශය ඉන්දියාවේ ජීවිත වෙනස් කළේය. රටේ ආර්ථිකය දියුණු කළේය. යුරෝපය දක්වා ඉන්දියාව පුළුල් කළේ එවන් මිනිසුන්ය. ටාටා යන නාමය ඇසුණ කල, මෙයිට වසර පනහකට එපිට දී දැනුණේ, කම්හලක තත්ත්වයකි. ටාටා බසය වුවද ඒ මට්ටමේ විය. අද ටාටා වනාහි ලෝකයේ දියුණු කාර්මික නාමයකි. එය ජපානයේ, ජර්මනියේ, යුරෝපයේ, එක්සත් ජනපදයේ කාර්මික සමාගම් සමඟ කරට කර ඇති නමකි. එවන් සන්නාමයක් අතට ගත් ඉන්දියාව ලෝකයේ කාර්මික නිෂ්පාදනයේ දියුණු ස්ථානයකට පැමිණ ඇත. අපට ඇත්තේ මේ ආදර්ශය හිතට ගෙන ඉදිරි වැඩ කරගැනීමය. ඉන්දීය ව්‍යාපාරිකයෝ සියලු දෙනා බිලියන ගණන් උපයා ගත්තෝ වූහ. රතන් ටාටා වනාහි බිලියන ගණනක් පරිත්‍යාග කළ මිනිසෙකි. හේ එවන් ව්‍යවසායකයෙකි. රටක්, ලෝකයක් කළ ඒ මිනිසා, සිය රටේ මිනිසුන්ට අසීමිතව ප්‍රේම කළේය. ඒ ව්‍යවසායකත්වය අපේ රටට ද පෙරහුරුවක් වේවා කියමින් රතන් ටාටාට මේ තීරුව සමුදෙන්නේය.