ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් සැලකිය යුතු කොටසක් දුම් වැටි හා මත්පැන් අලෙවියෙන් ලැබෙන බව රහසක් නොවේ. එහෙත් පසුගිය මූල්‍ය වාර්තාවන්ට අනුව එම ආදායමේ සුවිසල් අඩුවක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. විටින්විට මිල ඉහළ යාම, වෙළෙඳපොළ තුළ පැවති විවිධ නිෂ්පාදන සඳහා නීතිමය වශයෙන් ගැටලු මතුවීම, ජාවාරම්කරුවන් විසින් අයථා මාර්ගයෙන් දුම්වැටි හා මත්පැන් විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒම හා බෙදා හැරීම මෙන්ම ජීවන වියදම වැඩිවීම වැනි කරුණු ඊට බෙහෙවින් බලපෑ බව කිව හැකිය. මෙහිදී ඊට හේතු වූ තවත් විශේෂ කරුණක් වන්නේ දේශීය වශයෙන් සිදු වන නෛතික නොවන නිෂ්පාදනයන්ය. මත්පැන්වලට ආදේශයකයන් ලෙස ග්‍රාමීය වශයෙන් නීත්‍යානුකූල නොවන මත්පැන් හෙවත් කසිප්පු නිෂ්පාදනය හේතුවෙන් බොහෝ දෙනා ඒ වෙත යොමු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එමෙන්ම දුම්වැටි පිළිබඳව සැලකීමේදී ද නීතිමය වශයෙන් පිළිගත් දුම්වැටි භාවිතයෙන් ඉවත්ව අඩු මුදලට අනීතික හා සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කළ හැකි දුම්වැටි භාවිතයට බොහෝ දෙනා නැඹුරු වී ඇති බව ද පෙනෙනන්ට ඇත. පාරිභෝගිකයන්ගේ ආර්ථික තත්ත්වය කඩා වැටීම හා අදාළ නීත්‍යානුකූල නිෂ්පාදනවල මිල ඉහළ මට්ටමක පැවතීම ද මීට හේතුවක් විය හැකිය.
ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවකදී සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව බීඩි භාවිතය පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති ආකාරය අවබෝධ කරගත හැකිවේ. 2015 වසර වන විට බීඩි බිලියන 3.01ක් අලෙවි වී ඇති අතර 2023 වසරේදී එය බිලියන 6.51ක් දක්වා එනම් 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව තහවුරු වේ. මේ තුළින් රජයට අය කළ හැකි බදු විශාල ප්‍රමාණයක් මඟහැරී යන බව තහවුරු වේ. වාර්තා වන කරුණු අනුව සමහර බීඩි නිෂ්පාදකයන් නීතිවිරෝධී හා අයථා ක්‍රම භාවිතයෙන් මෙරටට රැගෙන එන බීඩි කොළ හා දුම්කොළ හේතුවෙන් මීට අදාළ නීතිය බලාත්මක කරනු ලබන ආයතන සඳහා ද මෙම නිෂ්පාදන නිසි පරිදි නියාමනය කිරීමේ ගැටලුවකට මුහුණ දී ඇත. මීට අමතරව බීඩිවලින් විශාල ප්‍රමාණයක් වංචා සහගත ලෙස ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයන කරන අමුද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කළ ඒවාය. එමඟින් ද රටට අහිමිව යන බදු මුදල ඉතා විශාලය.
ඒ අනුව පසුගියදා මහියංගණය, දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශයන්ගෙන් නීතිමය රාමුවෙන් එහා ගිය තවත් නිෂ්පාදනයක් පිළිබඳව වාර්තා විය. එනම් මෙන්තෝල් රස ගන්වන ලද දුම්කොළ අඩංගු බීඩි නිෂ්පාදනයකි.