Home » ටර්කිමේනිස්තානය ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමයි

ටර්කිමේනිස්තානය ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමයි

by mahesh
October 11, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු අවුරුදු 20න් පහළ වොලිබෝල් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වූ සිව්වැනි තරගයේදී වට 3-1ක ජයක් වාර්තා කරමින් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තු බිඳ දැමීමට ටර්කිමේනිස්තානය කණ්ඩායම ඊයේ සමත් විය.

තරග 4ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූ තෙවැනි තරගය මෙය වන අතර, සිය තෙවැනි ජය වාර්තා කළ ටර්කිමේනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසු වෙයි.

ඊයේ දෙවැනි තරගය ලෙස පැවති මේ තරගයේ පළමු වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, ටර්කිමේනිස්තානය ජය ගත්තේ ලකුණු 25-22ක් ලෙසිනි. දෙවැනි වටයේදී ලකුණු 25-18ක් ලෙස ජය තහවුරු කර ගැනීමට යළි ක්‍රියාත්මක වූ ටර්කිමේනිස්තානය සමත් වුවත් සටන්කාමී ක්‍රීඩාවක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බලාපොරොත්තු ඉහළ දමා ගත්තේ ලකුණු 25-22ක් ලෙස එම වටයේ ජය තහවුරු කර ගනිමිනි. කෙසේ වෙතත් සිව්වැනි වටය ලකුණු 25-16ක් ලෙස ජය ගනිමින් 3-1ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගැනීම ටර්කිමේනිස්තානය සමත් විය.

ඊයේ පැවති පළමු තරගයෙන් මාලදිවයින වට 3-0කින් පරාජය කරමින් සිව්වැනි ජය සමඟ අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට උස්බෙකිස්තානය සමත් විය.

ශ්‍රී ලංකා පිල සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (11) පස්වරු 4.00ට උස්බෙකිස්තානයට එරෙහිව පැවැත්වේ.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන මේ තරගාවලියේ මූලික වටය අද (11) නිමා වන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට එක් වෙයි. එම තරගය සමඟ 5 වැනි සහ තෙවැනි ස්ථාන තේරීමේ තරගත් හෙට (12) පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT