බණ්ඩාරගම අටුළුගම කිම්මන්තුඩාව මාර්ගය සුළු වැස්සකටත් ජලයෙන් යටවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි එම ප්‍රදේශයේ ජනතාව පවසති.
බොල්ගොඩ අතු ඔය හරහා නිසි අයුරින් ජලය බැස නොයාම හේතුවෙන් ජලය පිටාර ගලා කිම්මන්තුඩාව මාර්ගය යටවෙන බව ඔවුහු කියති.
එයට හේතුව පාලමේ වම්පස විශාල වශයෙන් කෙටල ශාකය වැවී තිබීමත් ඇතැම් පුද්ගලයන් විවිධ අපද්‍රව්‍ය පාලම දෙපස ඇති කෙටල ශාක සහ කැලෑ පෙදෙසට ගෙනත් දැමීම හේතුවෙන් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
එම කෙටල ශාක ඉකුත් වර්ෂා දිනවල ජල පහරට ගසාගෙන පැමිණ පාලමේ වම්පස ජල පහර දකුණු වම් ඉවුරට ගසාගෙන යන ස්ථානයේ තැන්පත්ව තිබීම හේතුවෙන් එම ජලය නිසි අයුරින් ගලාගෙන යාමට නොහැකිව පිටාර ගැලීමෙන් කිම්මන්තුඩාව මාර්ගය ජලයෙන් නිරතුරුවම යට වෙන බව ඔවුන් පවසති.
ඒ හේතුවෙන් මිල්ලනිය ප්‍රදේශයේ සිට කිම්මන්තුඩාව අටුළුගම හරහා බණ්ඩාරගම පානදුර ආදී ප්‍රදේශවලට ගමන් ගන්නා විශාල ජනතාවක් හා පාසල් සිසු දරු දැරියන් දැඩි අපහසුතාවකට පත්වනවා පමණක් නොව බට පැළැලි කර්මාන්තයේ යෙදෙන බහුතර පිරිසක් පදිංචි කිම්මන්තුඩාව ප්‍රදේශයේ පවුල් ගණනාවක් තම ජීවිකාව කර ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයකට පත්වන බව ඔවුන් කියති. අටුළුගම ප්‍රදේශයේ කුකුළු මස් ව්‍යාපාරිකයන්, පාවහන් නිෂ්පාදකයන් මෙන්ම විවිධ කර්මාන්තවල යෙදෙන්නන් ඉවතලන අපද්‍රව්‍ය අටුළුගම හරහා කිම්මන්තුඩාවට යන මාර්ගය දෙපස වෙල්යායට දැමීමත්, ඊට අමතරව පාලම මතින් බොල්ගොඩ ගඟේ අතු ඔයට දැමීමත් හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමා දැඩි පාරිසරික හානියක් සිදුවී ඇතැයි ඔවුන් පවසති.
දිනකට දහස් ගණනක් අවශ්‍යතා සපුරා ගන්නා මෙම කිම්මන්තුඩාව මාර්ගය ජලයෙන් යටවීමේ පාරිසරික ගැටලුව සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය වහා යොමු කර විශාල ලෙස වැඩී තිබෙන කෙටල ශාක ඉවත් කර පිළියමක් යොදා පොද වැස්සටත් යට වෙන එම මාර්ගයට ස්ථිරසාර පිළියමක් ලබාදී ඇතැම් පුද්ගලයන් බොල්ගොඩ ගඟේ අතුඔයට සහ පරිසරයට මුදාහරින විවිධ අපද්‍රව්‍ය දැමීම වැළැක්වීමට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට ද වගකිව යුතු ආයතන බලධාරීන්ගේ අවධානය වහා යොමු කරන ලෙස කිම්මන්තුඩාව, මිල්ලනිය හා පරගස්තොට ආදී ප්‍රදේශවල ජනතාව ඉල්ලා සිටිති.