Home » “විශේෂ අවශ්‍යතා සහිත දරුවන්” අගයන්න කළුතරින් අපූරු වැඩක්

“විශේෂ අවශ්‍යතා සහිත දරුවන්” අගයන්න කළුතරින් අපූරු වැඩක්

by mahesh
October 11, 2024 1:00 am 0 comment

කළුතර මධ්‍යම විශේෂ

කළුතර අධ්‍යාපන කලාපයට අයත් පාසල් හි විශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන “විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ” සැඟවුණු දක්ෂතා හා සෞන්දර්යාත්මක කුසලතාවයන් එළිදැක්වීමේ කලා ප්‍රසංගයක්, කළුතර අධ්‍යාපන කලාපයේ විශේෂ අධ්‍යාපන ඒකකය භාරව කටයුතු කරන කළුතර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.එස්.පී.කේ. අබේනායක මහතාගේ සංවිධාන ශක්තියෙන්, කලාපයේ විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් ඊයේ (10) කළුතර උතුර සුගත විද්‍යාලයීය රංග ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රවණ හා දෘෂ්ටි ඌනතා සහිත දරු දැරියන්, මන්ද මානසික දරුවන්, ඔටිසම් දරුවන් ඇතුළු විවිධ කායික හා මානසික ආබාධ සහිත දරු දැරියන් විශාල පිරිසක් ඔවුන්ගේ ගුරුභවතුන් හා මවුපියන් සමඟ මෙම උත්සවයට සහභාගි වූහ. එහිදී නර්තන ප්‍රසංග, වේදිකා නාට්‍ය, ගීත ගායනා කිරීම, හාස්‍යපිරි කෙටි නාට්‍ය, ඇතුළු විවිධ නැටුම් ගැයුම් හා සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් රැසකින් වේදිකාව හැඩගන්වා තිබුණේ ප්‍රේක්ෂකයන් මවිතයටත් සංවේදීතාවයටත් පත් කරවමිනි. සියලුම ඉදිරිපත් කිරීම් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ සිදු කෙරුණද මෙම දරුවන් සඳහා ප්‍රථම, දෙවන හා තුන්වන වශයෙන් ස්ථාන ලබාදීමක් ප්‍රසිද්ධියේ සිදු නොකළ අතර සියලුම මවුපියන් සහ දරුවන් රංග ශාලාවෙන් නික්ම ගියපසු එම ප්‍රතිඵල ගුරු භවතුන්ට පමණක් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඒ අනුව හොඳම සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම, පානදුර හොරේතුඩුව චන්ද්‍රසේකර විශේෂ විද්‍යාලයට හිමි වූ අතර එහි දෙවැනි ස්ථානය අලුත්ගම මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයට හිමි වූ අතර තෙවැනි ස්ථානය දිනාගන්නා ලද්දේ පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකය විසිනි.

කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමාරච්චි, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ සුරංජි කරුණාතුංග, කළුතර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සහ විශේෂ අධ්‍යාපන ඒකක ප්‍රධානී එම්.එස්.පී.කේ. අබේනායක, කළුතර කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(සෞන්දර්ය )සකුන්තලා ප්‍රේමරත්න යන නිලධාරී මහත්ම මහත්මීන්ද ගුරුභවතුන් සහ මවුපියන් විශාල සංඛ්‍යාවක් ද මේ සඳහා

එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT