Sunday, April 20, 2025
Home » දාහත් වියැති යුක්රේනුවෝ යළි රිමාන්ඩ්
අන්තර්ජාලය ඔස්සේ ලක්ෂ 18ක් වංචා කළැයි

දාහත් වියැති යුක්රේනුවෝ යළි රිමාන්ඩ්

by mahesh
October 11, 2024 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

වාණිජ බැංකුවක 35 වැනි සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවතින බවට දැන්වීමක් පළ කර අන්තර්ජාලය ඔස්සේ රුපියල් (1,810,000) දහඅටලක්ෂ දහදාහක වංචාවක් සිදු කළැයි සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින අවුරුදු 17ක් වයසැති යුක්රේන ජාතිකයන් දෙදෙනා ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුවන් ලංකාවට පැමිණීමට පෙර යුක්රේනයේ සිට මෙම ව්‍යාජ ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙන බවත් ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුද සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදි.

අවුරුදු 17ක් වයසැති යුක්රේන් ජාතික ලියුබෝමි සිවිට් (Liubomyr shvets) සහ නිකිට අර්හුනෝව් (Nikita urhunov) යන බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු මේ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය. මෙම සැකකරුවන් දෙදෙනා ලංකාවට ඒමට පෙර බැංකු ගිණුම් නිර්මාණය කර ජාවාරම ක්‍රියාත්මක කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම විදෙස් ජාතිකයන් දෙදෙනා හොටෙල් පැරඩයිස් කුරුඳු වත්ත දෙනියාය ප්‍රදේශයේ පදිංචි වී සිටි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ගනේමුල්ල පාර කඩවත දෝන අයෝමා කාංචනී බෝතෙජු යන කාන්තාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට ඉකුත් 27 දින කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුනි.

Facebook සමාජ මාධ්‍ය හරහා වාණිජ බැංකුවක 35 වන සංවස්තරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවතින බවට දැන්වීමක් පළ කර තිබූ බවත්, එම දිනුම් ඇදීමට ඇතුළු වීමට අන්තර්ජාලය ඔස්සේ පියවරයන් අනුගමනය කිරීමට තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිලිකාරිය අන්තර්ජාලය ඔස්සේ එම පියවරයන් කිහිපයකට අදාළව තොරතුරු ලබා දී ඇති බවත් ටික වෙලාවකට පසු සම්පත් බැංකුවේ ගිණුමේ මුදල් වෙනත් ගිණුමකට බැර කර ඇති බවට පණිවිඩයක් පැමිණිලිකාරියගේ දුරකතනයට පැමිණි තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර කළුතර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකගේ Telegram යෙදවූම මාර්ගගතව ව්‍යාපාර අවස්ථා පවතීද යන්න ද මෙම විදේශ ජාතිකයන් දෙදෙනා සොයා බලා ලක්ෂ තුනක ඉලෙක්ට්‍රොනික් මුදල් ගිණුමෙන් ලබාගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT