Home » දඹුල්ල කණ්ඩායම් හිමිකරුගේ අතිරේක ලේඛන ගැන විත්තියේ ප්‍රකාශ ගන්න නියෝග
LPL තරග පාවාදීමේ සිද්ධිය

දඹුල්ල කණ්ඩායම් හිමිකරුගේ අතිරේක ලේඛන ගැන විත්තියේ ප්‍රකාශ ගන්න නියෝග

by mahesh
October 11, 2024 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

ඉදිරියේදී ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ බවට ඇප මත මුදාහැර සිටින දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වන තමිම් රහමාන් නමැත්තා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතිරේක ලේඛන පිළිබඳ විත්තිකාර පාර්ශ්වයේ ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයට ඊයේ (10) නියෝග කළේය.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු කිරීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී. එදිනට සැකකරු පිළිබඳ ලිඛිත දේශනයක් ද අධිකරණයට යොමු කරන ලෙස ද නියෝග කළේය.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි බංග්ලාදේශ ජාතිකයෙකු වන ඔහු දඹුල්ල කණ්ඩායමේ හිමිකරු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරනු ලැබේ. මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදෙස්ගතවීමට උත්සාහ කරන අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අධිකරණයට දැනුම් දුන්නේය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ දී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවා දීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

පසුගිය අප්‍රේල් 22 වැනිදා අදාළ සැකකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් කොළඹ හෝටලයකදී පැමිණිලිකාර ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබූ බවටද එහිදී අධිකරණයට දැනුම් දෙන ලදි.

එහිදී තරග පාවාදීමකට අදාළව සාකච්ඡාවක් සිදුවී ඇති අතර ඊට සම්බන්ධ හඬපට ද විමර්ශකයින් සතුව තිබෙන බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT