Home » නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන මස 13දා

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන මස 13දා

by mahesh
October 11, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පියවර ගන්නැයි පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජයීය හා සාමයික කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සලකා බැලීම සඳහා නොවැම්බර් මස 13 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය පෙරේදා (09) නියම කළේය.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදි.

එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයට අනුව ජාතික පොලිස් කොමිසම විසින් තම සේවාදායකයාට එරෙහිව නව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව මේ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද එසේ නැත්නම් ඉල්ලා අස්කරනවාද? යන්න සලකා බැලීමට නොවැම්බර් මස 13 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

සමාජයීය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ජූඩ් වර්නන් රොහාන් සිල්වා පියතුමා, පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය විසි හැවිරිදි දරුවා අහිමි වූ සුරාජ් නිලංග විසින් මේ පෙත්සම ඉදිරිපත් කරන ලදී. පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, නීතිපතිවරයා මේ පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

නීතිඥ අර්මීසා ටීගල් ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT