Home » හොර වීසාවලින් සර්බියාවට යන්න ගිය බංග්ලාදේශ ජාතිකයෝ 8 දෙනෙක් කොටුවෙති

හොර වීසාවලින් සර්බියාවට යන්න ගිය බංග්ලාදේශ ජාතිකයෝ 8 දෙනෙක් කොටුවෙති

by mahesh
October 11, 2024 1:00 am 0 comment

කටුනායක - ටී. කේ. ජී. කපිල

කූට ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිත කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාවට පලා යෑමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් ඊයේ (10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (09) රාත්‍රී 08.20ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යෑමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. – 655 දරන ගුවන් යානයට පිවිසීමේ කණ්ඩායමේ පළමු බංගලදේශ ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා කටාර් ගුවන් සේවා නිලධාරීන්ට ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ සර්බියානු වීසා බලපත්‍රය පිළිබඳ සැක සිතූ නිලධාරීන් මේ ගුවන් මගියා ඉදිරිපත් කළ ලියකියවිලි ද සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දී තිබේ. එහිදී සිදු කළ තාක්ෂණික පරික්ෂා කිරීම්වලදී එම සර්බියානු වීසා බලපත්‍රය කූට ලෙස සකස් කළ එකක් බවට තහවුරු වීමත් සමඟම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට මේ ගුවන් ගමන සඳහා උදව් උපකාර කළ බංගලදේශ ජාතිකයකු කටුනායක ගුවන් තොටුපොළ අමුත්තන්ගේ ශාලාවේ රැඳී සිටින බවට කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මේ ආකාරයට සර්බියාව බලා ගුවන්ගත වීම සඳහා බලාපොරොත්තුවෙන් තවත් බංගලදේශ ජාතිකයන් 06 දෙනකු මීගමුව ලැඟුම්හලක රැඳී සිටින බවට ද තොරතුරු අනාවරණයවී තිබේ.

මේ තොරතුරු ක්ෂණිකව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බංගලදේශ ජාතිකයන් රැඳී සිටි මීගමුව ලැඟුම්හල වටලා එම පිරිස ද අත්අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබුණි.

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT