ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පෙරේදා (09) යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 4ක් සමඟ ඉන්දීය ධීවරයන් 21 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මෙරට මුහුදු සීමාවට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානයෙන් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අනුයුක්ත නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කර තිබේ.
මේ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර සහ එහි සිටි ඉන්දීය ධීවරයන් කන්කසන්තුරය වරායට රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
මේ මෙහෙයුමත් සමඟ මේ වර්ෂයේ මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 59ක් සහ ඉන්දීය ධීවරයන් 434 දෙනකු නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි.