Home » යාපනය සරසවියේ අඩ සියවසක විශිෂ්ටත්වය!

යාපනය සරසවියේ අඩ සියවසක විශිෂ්ටත්වය!

by mahesh
October 11, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති යාපනය විශ්වවිද්‍යාලයට එහි ප්‍රාදේශීය සංස්කෘතික, සමාජයීය සහ දේශපාලනික පරිසරය සමඟ ගැඹුරින් බැඳුණු සංකීර්ණ ඉතිහාසයක් ඇත. යාපනය විශ්වවිද්‍යාලය 1974 ඔක්තෝබර් 6 වන දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ හයවන මණ්ඩපය ලෙස ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ “යාපනය මණ්ඩපය” නමින් නිල වශයෙන් ආරම්භ කරන ලදී. මූලික වශයෙන් කලා හා විද්‍යා විෂයයන් කෙරෙහි අවධානය යොමු කරමින් පීඨ කිහිපයක් සහ සීමිත සිසුන් සංඛ්‍යාවකින් එම මණ්ඩපය ආරම්භ විය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ “යාපනය මණ්ඩපය” ආරම්භ වූයේ කලා හා විද්‍යා විෂයයන් කේන්ද්‍රගතව සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් සමඟ ය. එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට මෙම මණ්ඩපය පිහිටුවීම පිළිබඳව සලකා බලන ලෙස යම් බලපෑමක් සිදුකරන ලදි. යාපනය මණ්ඩපයට අපගේ පළමු ශිෂ්‍ය කණ්ඩායම ඇතුළත් වූයේ එවැනි පසුබිමක් සමඟය. එය බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

1974 මුල් භාගයේදී, විශ්වවිද්‍යාල ශාඛාවල උපාධිධාරීන් බඳවා ගැනීම සිදුවන ලදී (එකල එක් විශ්වවිද්‍යාලයක් පමණක් තිබුණි, එනම් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයයි, අනෙක් මණ්ඩපය – කොළඹ, කැලණිය ආදී වශයෙන්). ගණිත විෂයට ඇතුළත් වූ සිසුන් 130 දෙනෙක් මොරටුව විශ්වවිද්‍යාලයට (එවකට කටුබැද්ද ශාඛාව) තෝරා ගත් අතර පහසුකම් සීමාවීම හේතුවෙන් තමන් කැමති මණ්ඩපයක් තෝරා ගැනීමේ විකල්පය ඇතිව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලබන වසර දක්වා රැඳී සිටීමට ශිෂ්‍යයන්ට සිදුවිය.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වසරක දිගු කාලයක් බලා සිටීමට සිදුවීමෙන් බහුතරයක් සිසුන් කලකිරීමට පත් විය. ඉන්පසුව ප්‍රධාන වශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මෙම කණ්ඩායමට සිසුන් පිරිසක් ඇතුළත් කරගත් අතර ඔවුන් කටුබැද්ද මණ්ඩපයට තෝරාගත් අතර අනෙකුත් සිසුන්ට පුවත්පත් දැන්වීමක් හරහා විශ්වවිද්‍යාල සනාතන මන්දිරයට (දැන් එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව) සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළහ.

යාපනයේ සිසුන් ඇතුළු බොහෝ සිසුන් මෙම දැන්වීමට ප්‍රතිචාර දැක්වූහ. එවිට එම වර්ෂයේදීම විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉක්මනින් ලබා දීමට ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලපෑම් කිරීමේ උපාය මාර්ගයක් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළෙමු. එකල තිබුණේ එකම විශ්වවිද්‍යාලයක් බැවින් එක් උපකුලපතිවරයෙකු පමණක් වූ අතර ඔහු ඉතා උනන්දුවෙන් අපගේ ඉල්ලීමට සහාය ලබාදෙන ලදි. ඔහු දිවංගත එල්.එච්.සුමනදාස මහතා වූ අතර ඒ වන විටත් පවතින මණ්ඩපයන් පිරී තිබූ බැවින් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

ඉන්පසුව වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයකට අපට යොමුවීමට සිදුවිය. එවක මාගේ පියා දැන හඳුනන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ අභාවප්‍රාප්ත සරත් මුත්තෙට්ටුගම මහතා හරහා පාර්ලිමේන්තුවේදී අපගේ යෝජනාව ඉදිරිපත් කළෙමු. රැස්වීම් කිහිපයක් පවත්වා සාකච්ඡා කළ පසු එවකට අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විශාල ප්‍රමාණයකින් සිසුන් බඳවා ගැනීම සඳහා යාපනයේ තිබූ විදුහලක ගොඩනැඟිලි භාවිත කරමින් යාපනයේ මණ්ඩපයක් විවෘත කිරීමට තීරණය කළාය.

රජය යාපනය විද්‍යාලයෙන් වාඩ්ඩුකෝට්ටේ (Waddukotte) සහ පරමේෂ්වර (Paramesevara) විද්‍යාලයෙන් තිරුනෙල්වේලි (Tirunelveli) ගොඩනැඟිලි ලබා ගැනීමට දැරූ උත්සාහය ද සාර්ථක විය. තෝරාගත් කණ්ඩායමේ 95% කට වඩා වැඩි ප්‍රමාණයක් යාපනයට යාමට එකඟ වූ අතර පළමු සභාපතිවරයා (මෙය මණ්ඩපයක් නිසා) වූයේ අභාවප්‍රාප්ත මහාචාර්ය කේ.කෛලාසපති (Late Prof. K.Kailasapathy) මහතාය. 1974 ඔක්තෝබර් මාසයේදී එවකට අග්‍රාමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කරන ලදි. අපට යාපනය ශාඛාවේ ප්‍ර‍ථම ශිෂ්‍ය කණ්ඩායම වීමට අවස්ථාව එහිදී හිමිවිය.

මා දැන සිටි යාපනය එකල සුප්‍රසිද්ධ රාත්‍රි තැපැල් දුම්රියෙන් ඔබ්බට යමක් නොවීය. විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමට උත්සුක වූ අපේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් යාපනය අර්ධද්වීපය මුඩු බිමක්, තල් ගස් සහ වැලි තලාවකින් පිරි භූමි ප්‍රදේශයක් වැනි වැඩි යමක් දැන සිටියේ ද නැත. එසේ වුවද යාපනය අර්ධද්වීපයේ සිටින අයගේ අධ්‍යාපනික උරුමය, කර්මාන්ත, කඩිසරකම සහ වෙහෙස මහන්සි වී වැඩ කරන ස්වභාවය පිළිබඳ සංස්කෘතිය හා ධනය පිළිබඳව මම වැඩි විස්තර දැන සිටියෙමි. මම නව පරිසරයට මුහුණ දීමට සූදානම්ව සිටියෙමි. දකුණේ සිට පැමිණි අප සැමට උතුරේ සාරධර්ම හා ඇවතුම් පැවතුම් පිළිගැනීමට වැඩි කාලයක් ගත නොවීය.

උතුරේදී දකුණේ අප සුළු පිරිසක් ලෙස පෙනෙන්නට විය. අපේ සිසුන් පමණක් නොව යාපනයේ සාමාන්‍ය ජනයාද මුලින් අපව පිළිගත්තේ සැකයෙන්, අවිශ්වාසයෙන් සහ බියෙනි. අපි උතුරට පිටස්තරයන් වූ නමුත් උතුරේ සාරධර්ම පිළිගැනීම සහ විශ්වාසය පිරුණු යහපත් පරිසරයක සිටින බව දැනෙන්නට වැඩි කාලයක් ගත නොවීය.

යාපනය අර්ධද්වීපයේ ජීවත් වන අයගේ ජීවන රටාව ගැන කතා කරන විට වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ගේ මනෝභාවය අගය කළ යුතුමය. ඔවුන්ගේ ඉඩම්වල සිටින පුද්ගලයින් අලුයම 4.30 වන විට පැළවලට වතුර දැමීමට වෙහෙසෙන අයුරු දැකගත හැකි විය. තවද නිබන්ධන පැහැදිලි කිරීම් ලබා ගැනීම සඳහා මට උදේ 6.00 වන විට මගේ උපදේශකයා, කථිකාචාර්යවරයා හෝ මහාචාර්යවරයා හමුවීමට හැකි විය. මෙවැනි පසුබිමක් තුළ යාපනයේ ජනතාව ඊනියා දකුණේ සිංහල සහ මුස්ලිම් සහෝදරයන් කෙරෙහි දැක්වූ පිළිගැනීම සහ නවාතැන් ගැන මගේ ගෞරවය දිනෙන් දින වර්ධනය විය.

ජනවාර්ගික සහජීවනය ගැන කතා කරන බොහෝ දෙනෙක් සිටිති. ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ගැන මාධ්‍යවල පළ වූ අදහස් බොහෝ ය. විවිධ සුළුතර ප්‍රජාවන් සමඟ ජීවත්වීම සහ ඉගෙනීම පිළිබඳ මගේ පුද්ගලික අත්දැකීම් නම් ඔවුන් සොයන්නේ අයිතිවාසිකම් නොව සමානාත්මතාවයෙන් සැවොම පිළිගැනීමයි. අපි එහි වසර හතරක් ජීවත් වූ අතර මුලදී විවිධ සෝදිසි කිරීම්වලට මුහුණ දීමටත් පසුව වෙනස්ව සැලකීමෙන් තොරව පිළිගැනීමටත් ක්‍ර‍මයෙන් කටයුතු කරන ලදි. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ලබාදුන් දැනුම, කැපවීම සහ ඔවුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ අපගේ ගෞරවය නිරන්තරයෙන් හිමිවේ.

අධ්‍යාපනයට ඇති වටිනාකම කෙතරම්ද යත් අප වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ රෝහලට ගිය විට වෛද්‍ය නිලධාරියා ශිෂ්‍යයින්ට ප්‍රථමයෙන් ප්‍රතිකාර කළ යුතු බවට නියම කළ බව සටහන් කළ යුතුය. මෙය එක් උදාහරණයක් පමණි. ඔවුන් කුසලතා මත උසස් බුද්ධියට සහ නායකත්වයට නිරන්තරයෙන් ගරු කළහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය අභියෝගාත්මක ඉතිහාසය ගැන නොලියන්නේ නම් මා කරන්නේ පාඨකයන්ට කරන අනර්ථයකි. 1978 දී ආරම්භ වූ වෛද්‍ය පීඨය ඇතුළු අතිරේක පීඨ පිහිටුවීමත් සමඟ විශ්වවිද්‍යාලයේ මුල් වසර කිහිපය සාර්ථකව ක්‍රියාත්මක විය. එපමණක් නොව වෛද්‍ය පීඨය රටේ ප්‍රමුඛතම සහ ගෞරවනීය වෛද්‍ය විද්‍යාලයක් බවට පත් විය.

1979 දී යාපනය මණ්ඩපය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් ස්වයං පාලනයක් ලබාගෙන යාපනය විශ්වවිද්‍යාලය බවට පත් විය. මෙම සංක්‍රාන්තිය විෂයමාලා සංවර්ධනය සහ පරිපාලනය අනුව තමන්ගේම පාඨමාලාවන් නිර්මාණය කිරීමටත් ශාස්ත්‍රීය නිදහසක් සඳහාත් ඉඩ සැලසීය.

1980 ගණන්වලදී විශ්වවිද්‍යාලය සිය අධ්‍යයන කටයුතු පුළුල් කරමින් කෘෂි කර්මාන්තය සහ ඉංජිනේරු විද්‍යාව වැනි නව පීඨ ස්ථාපිත කරමින් පුළුල් අධ්‍යාපන ආයතනයක් ලෙස එහි කීර්තිය තවදුරටත් ඉහළ නංවා ගත්තේය.

1980 දශකයේ මුල් භාගයේ ආරම්භ වූ සිවිල් යුද්ධයේ (1980-2009) බලපෑම යාපනය විශ්වවිද්‍යාලයට ප්‍රබල බලපෑමක් ඇති කළේය. ගැටුම් කලාපයක පිහිටා ඇති විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතුවලට බාධා කිරීම්, යටිතල පහසුකම්වලට හානි කිරීම ඇතුළු අභියෝග රාශියකට මුහුණ දුන්නේය.

මෙම අභියෝග මධ්‍යයේ වුවද විශ්වවිද්‍යාලය උතුරු පළාතේ අධ්‍යාපනික හා පර්යේෂණවල වැදගත් මධ්‍යස්ථානයක් ලෙස කැපී පෙනෙන කාර්යභාර්යක් ඉටු කළේය. දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද එය අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර යුද සමයේදී දෙමළ ප්‍රජාවගේ සංස්කෘතිය හා ජීවිතය ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු පශ්චාත් යුද සමය සහ සංවර්ධනය ආරම්භ වූයේ යාපනය විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ කාල පරිච්ඡේදයක් ආරම්භ කිරීමත් සමඟ ය. හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැඟීමට, අධ්‍යයන වැඩසටහන් පුළුල් කිරීමට සහ විශ්වවිද්‍යාල ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන ලදී.

මෑත වසරවල පහසුකම් පුළුල් කිරීම මඟින් විශ්වවිද්‍යාලය සිසුන් බඳවා ගැනීම සහ නව පීඨ සහ දෙපාර්තමේන්තු පිහිටුවීම සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය දැන් මානව ශාස්ත්‍ර, විද්‍යා සහ ඉංජිනේරු, කෘෂිකර්මය සහ සෞඛ්‍ය විද්‍යාව ඇතුළු විවිධ විෂයයන් හරහා පුළුල් පරාසයක උපාධි සහ පශ්චාත් උපාධිවලින් සමන්විතයි.

විශේෂයෙන්ම කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව සහ සමාජ විද්‍යාව වැනි කලාපයේ අවශ්‍යතාවලට අදාළ ක්ෂේත්‍රවල පර්යේෂණ සහ නවෝත්පාදන යනු විශ්වවිද්‍යාලය එහි පර්යේෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති තවත් ක්ෂේත්‍රයකි.

මගේ අත්දැකීම නැවත ආවර්ජනය කළහොත් අවසාන විග්‍රහයේ දී යාපනයේ ජනතාව කීර්තිමත් උගතුන්ගේ සිට නිහතමානී ක්‍රියාශීලී ගොවියා දක්වා අපව පිළිගත්තේ එකම මිනිසුන් ලෙස ය. යාපනයේ හැදී වැඩුණු අය මෙන් ඔවුන් අපව මානුෂීය ලෙස පිළිගත්තේය. ඔවුන් බෙදී වෙන්වීමට වඩා සිතුවිල්ලෙන් හා ක්‍රියාවෙන් ඒකාබද්ධ වීමට උත්සාහ කළ බව පැහැදිලි විය. අද දහස් ගණන් උපාධිධාරීන් බිහිකර ඇති මෙම කීර්තිමත් සහ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ඊනියා වාර්ගික සහජීවනයට වඩා බොහෝ ප්‍ර‍ගතිශීලි දේ ඇති කිරීමට උත්සාහ කරනු ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ අාචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාව (1975දී)

කීර්තිමත් බෙන්ජමින් ඩිස්‍රේලි (Benjamin Disraeli) 1873 මාර්තු 11 වැනි දින තරම් ඈත කාලයක දී “විශ්වවිද්‍යාලයක් ආලෝකයේ, නිදහසේ මෙන්ම ඉගෙනීමේ ස්ථානයක් ද විය යුතුය” ÒA University should be a place of light, liberty as well as learningÓ යනුවෙන් ප්‍රකාශ කර ඇත. යාපනය විශ්වවිද්‍යාලයෙන් ලද ප්‍රතිලාභ තාරුණ්‍යයේ අප සෙවූ ආලෝකය සහ නිදහස නොඅඩුව ලබා දුන් බව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

යාපනය විශ්වවිද්‍යාලය විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ට වෘත්තිකයන් බිහි කර ඇති අතර ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් ඔවුන්ගේ සේවය ලබා දෙමින් සිටිති. ඒ අතර දේශපාලනඥයන් ද ඇතුළු බොහෝ දෙනෙක් සිටීම සතුටට කරුණක්.

යාපනය විශ්වවිද්‍යාලය තුළින් මගේ ජීවන සහකාරිය හමුවීම පිළිබඳවත් ඇය අපගේ කණ්ඩායමේ සාමාජිකාවක් වූ බවත් සටහන් කරමි. කොළඹ පාර්ශ්වයේ ආදි ශිෂ්‍යයන් වන අපි යාපනය සරසවිය 50 වසරක් සම්පූර්ණ කරන 2024 ඔක්තෝබරයේ දී අපේ ශාස්ත්‍රීය මූලයන් සොයා යාපනයට යාමට බලාපොරොත්තු වෙමු.

(ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල විවිධ තනතුරු දරමින් ශ්‍රී ලංකාවට සේවය කර ඇත. බහුජාතික සමාගම්, විශ්වවිද්‍යාල, වාණිජ මණ්ඩල සහ සේවා සංවිධාන විශේෂයෙන්ම Lions International-306B2 Sri Lanka හි දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ලෙස 2009-2010 කාලයේදී කටයුතු කර ඇත. ආචාර්ය බර්නාඩ් මහතා ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.)

ආචාර්ය කිංස්ලි බර්නාඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT