Home » හරිනිගේ-විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි

හරිනිගේ-විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි

by mahesh
October 11, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ හෝ ඇමැති විජිත හේරත් මහතාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් නොකළ බවත් ඔවුන්ට සිහිවටන තිළිණයක් පමණක් පිරිනැමූ බවත් තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියි.

මේ වනවිට මේ සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යවල පුවතක් හුවමාරු වෙමින් පවතින බව තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ලෝක තැපැල් දින ජාතික සැමරුම් උලෙළ අගමැතිනියගේ හා විෂයභාර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (09) පැවැත්වුණු අතර එහිදී 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව තැපැල් සංගමයේ 150 වැනි සංවත්සර සමරු මුද්දරය නිකුත් කළ බව එහි දැක්වේ.

අනතුරුව මෙම ජාතික උත්සවයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයන් දෙපල වෙත ඔවුන්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුළත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීම සිදු කළ බව එම නිවේදනයේ තැපැල්පතිවරයා පෙන්වා දී තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

තැපැල් දෙපාර්තමේන්තුව මඟින් කාණ්ඩ කිහිපයක් යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව තැපැල් සංගමයේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සමරු මුද්දර කාණ්ඩයටත් උත්සවයේ ආරාධිතයන් දෙපළ වෙත තිළිණ කරන ලද මුද්දර පුද්ගලකාරක මුද්දර කාණ්ඩයටත් අයත් වේ.

සැමරුම් සඳහා නිකුත් කරන මුද්දර සැමරුම් කාණ්ඩයටත් එදිනෙදා තැපැල් කටයුතු සඳහා භාවිතයට ගැනීම සඳහා විශාල සංඛ්‍යාවන්ගෙන් මුද්‍රණය කරනු ලබන මුද්දර නිත්‍ය කාණ්ඩයටත් අයත් වේ.

තවද පුද්ගලකාරක මුද්දර ඕනෑම පුද්ගලයකුට තමා කැමැති රුවක් යොදා මුද්‍රණය කර ලබා ගැනීමට හැකියාව ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව සම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර, සිහිවටන ලෙස ලබා දීම සිදුකරනු ලැබේ. 2024 ලෝක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබුවේ විශ්ව තැපැල් සංගමය මඟින් සියලු සාමාජික රටවල මුද්දර සඳහා යොදා ගැනීමට නිර්මාණය කරන ලද චිත්‍ර ආකෘති ඇසුරින් නිර්මාණය කරන ලද මුද්දර දෙකක් වන අතර එම මුද්දර සහිත මුල් දින කවර නිකුත් කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT