එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස සහ ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කර ඇති වී.ආර්. සමන් විජේසිරි මහතා ඝාතනය කර ඔහු සතු කෝටි ගණනක දේපොළ හා වත්කම් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මඟින් නීති විරෝධී ලෙස පවරාගෙන එම දේපොළ භුක්ති විඳීම හා විකිණීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් පෙරේදා (07) අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත අලුත්වත්තේ පදිංචි රුවන් චන්දන නමැති 51 හැවිරිදි ව්‍යාපාරිකයා මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය. බිංගිරිය, බෝවත්ත, වීරපැල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ඉංජිනේරුවරයා ඝාතනය කර ඇත්තේ 2018 වසරේ ඔක්තෝබර් 13 වැනිදාය. ඔහුව මරා දමා සිරුර හලාවත කලපුවේ ගිල්වා සඟවා තිබී ඇත.
මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2020 වසරේදී විමර්ශනයක් පවත්වා සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් පෙරේදා (07) අත්අඩංගුවට ගත් සැකකරු ද සිටියේය.
ඉංජිනේරුවරයා සතුව ඇති රුපියල් කෝටි 50කට අධික දේපොළ අත්පත් කර ගැනීම සඳහා ඔහු විදේශයක සිට මෙරටට පැමිණි විට ඝාතනය කර ඇත. නැවත 2019 වසරේ මැයි 28 වැනිදා මෙම ඉංජිනේරුවරයා රටින් පිටව ගොස් ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පවා වෙනස් කිරීමට ඝාතකයන් කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එකල හෙළි කරගෙන තිබිණි. ඒ සඳහා ඔවුන්ට සහාය වී ඇත්තේ දූෂිත ආගමන විගමන නිලධාරියකු බව ද අනාවරණය වී තිබිණි. ඉංජිනේරුවරයා මරා කලපුවේ සිරුර සැඟවූ බව කියන සැකකරුවන් කළ ප්‍රකාශ හා තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කලපුව පීරා සෝදිසි කළ ද සිරුර හමුවී නොතිබිණි. ඒ තත්ත්වය මත සැකකරුවන් කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් විය.
ඒ වන විට මෙම ඉංජිනේරුවරයාගේ දේපොළ ඝාතන සැකකරුවන් විසින් ඇටෝනි බලපත්‍රයක් මඟින් භුක්ති විඳිමින් සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ආරම්භ කරමින් 2023 වසරේදී රුපියල් කෝටි 20ක පමණ දේපොළ තහනම් කිරීමට කටයුතු කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම දේපොළවලින් බොහොමයක්ම තිබී ඇත්තේ හලාවත ප්‍රදේශය ආශ්‍රිතවය.
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ ඇටෝනි බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කර නීති විරෝධී ලෙස ඉංජිනේරුවරයාගේ දේපොළ හා වත්කම් පවරාගෙන ඇති බවය. ඒ අනුව එම දේපොළ අත්පත් කරගෙන විකිණීමට ක්‍රියා කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
ගයාන් කුමාර වීරසිංහ