Home » අමෙරිකා සම්බාධක හමුවේත් කියුබාව ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලැබුවා

අමෙරිකා සම්බාධක හමුවේත් කියුබාව ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලැබුවා

-කියුබා තානාපති

by sachintha
October 9, 2024 1:07 am 0 comment

කියුබානු විප්ලවයේ නායකයකු වූ අර්නස්ට් චේ ගුවේරාගේ 57 වැනි ගුණ සැමරුම අද මොරගහහේන යහළකැලේදී මෙරට කියුබානු තානාපති ඇන්ඩ්‍රිස් මර්චලෝ මහතාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සමාජවාදී තරුණ සංවිධානය කළ මෙම සමරු වැඩසටහන එවකට කියුබානු ඇමැතිවරයකු වූ අර්නස්ට් චේ ගුවේරා 1959 දී ශ්‍රී ලංකාවට පැමිණ රබර් පිළිබඳ පර්යේෂණයක් සඳහා සහභාගි වූ යහළකැලේ වතුයායේ එතුමන් විසින් 1959දී රෝපණය කරන ලද මහෝගනී ශාකය පාමුල පැවැත්වුණි.

කියුබානු තානාපතිවරයා ඇතුළු පිරිස පළමුව මහෝගනී ශාකය ඉදිරිපිට නිර්මාණය කර ඇති චේ ගුවේරා සමරුවට පුෂ්පෝපහර දැක්වීම සිදු කරන ලදි.

අනතුරුව අ‍ෙමරිකාවෙන් කියුබාවට පනවන ලද සම්බාධක අවසන් කරනු, ත්‍රස්තවාදී අනුග්‍රාහක රාජ්‍ය ලැයිස්තුවෙන් කියුබාව වහාම ඉවත් කරනු යන මැයෙන් එම භූමියේ ප්‍රදර්ශන කර තිබූ බැනරයකට අත්සන් තැබීමද සිදු කෙරුණි.

උත්සව සභාව තුළ කියුබානු සහයෝගිතා ප්‍රකාශය කියුබානු තානාපතිවරයා වෙත පිළිගැන්වීම එක්සත් සමාජවාදී තරුණ සංවිධානයේ ජාත්‍යන්තර ලේකම් අන්ජන අමරසිංහ සහ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහත්වරුන් විසින් සිදු කෙරුණි.

මෙහිදී උත්සව සභාව ඇමතූ මෙරට කියුබානු තානාපති ඇන්ඩෙස් ඔරිජලෝ මහතා මෙසේ කීවේය.

කියුබානු විප්ලවීය නායකයා වන චේ ගුවේරාට උපහාර සිදු කිරීමට පැමිණි ටිල්වින් සිල්වා මහතා ප්‍රමුඛ සියලු දෙනාටත් වැඩසටහන සංවිධානය කළ හැම දෙනාටත් ස්තූතිවන්ත වෙනවා. චේ කියන්නේ එක රටකට සීමාවුණු නායකයෙක් නොවේ. චේට මුළු ලෝකයම ආදරය කළා. ඒ වගේම දශක හයකට ආසන්න කාලයක සිට අමෙරිකාව මඟින් කියුබාවට පනවා තිබෙන සම්බාධක තුළත් මේ වන විට කියුබාව ආර්ථික සමාජයීය ක්‍රීඩාමය වශයෙන් දැවැන්ත ජයග්‍රහණ රැසක් ලබමින් සිටිනවා.

මේ සියලු කටයුතුවලට දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින මිත්‍රත්වය සහයෝගිත්වය ඉතා වැදගත්.

උත්සව සභාව ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ කීවේය.

වෙනදාට වඩා චේ සමරුව අද අපි පවත්වන්නේ බොහෝම සතුටින්. වසර හැත්තෑ හයකට පසු ජනතාවගේම රජයක් නිර්මාණය වී තිබෙනවා.

මේ සියලු කටයුතුවලට චේගේ දර්ශනය ප්‍රතිපත්තිය සටන්කාමීත්වය අපට වටිනවා. චේ කියන්නේ රටකට කලාපයකට අයිති නායකයෙක් නොවේ ආජන්ටිනාවෙ ඉපදුණා. කියුබාවේ අමාත්‍ය තනතුර දැරුවා. අප්‍රිකානු අරගලයට මැදිහත් වුණා. අවසානයේ බොලීවියාවේ ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කළා.

ලෝකය තුළ විමුක්තිය ඉල්ලා සිටින්නේ කුමන ජනතාවද චේ ඔවුන් වෙනුවෙන් සීමාමායිම් නොමැතිව පෙනී සිටියා.

චේ ප්‍රතිපත්තිගරුක නායකයෙක්, වර්තමානයේ එවැනි නායකයන් අපට දකින්නට සිටින්නේ අතළොස්සයි. චේ භෞතිකව අපෙන් සමුගෙන ගියත් අපේ හිත්වල සදාකල් ජීවත් වෙනවා.

කියුබානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරිබෙල් ගොන්සාලෝස් මහත්මිය, උපාධිධාරී ආසියානු බොක්සින් ශූර ලලිෂ් කහටපිටිය මහතා, කියුබානු උපාධිධාරී සංගමයේ ශ්‍රී ලංකා සභාපති සී. රත්නමුදලි මහතා, සමාජවාදී තරුණ සංවිධානය නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක්ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද මෙම සැමරුමට එක්ව සිටියහ.

අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT