දිගන, කොත්තමල්ලි හන්දිය ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙමින් පවතින දෙමහල් නිවෙසක උඩුමහලේ මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් ඊයේ (08) වැටලූ මැණික්හින්න පොලිසිය හිටපු යුද හමුදා සෙබළකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මේ ස්ථානයේ කසිප්පු ස්ප්‍රීතු නිෂ්පාදනය කොට ඒවා ජලය සමඟ මිශ්‍ර කර බෝතල්වලට අසුරා මැණික්හින්න ප්‍රදේශයේ මත්පැන් අලෙවිසල් ඇතුළු විවිධ ස්ථානවලට බෙදා හැර තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩී. චන්ද්‍රපාල මහතාට ලැබුණු තොරතුරකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කරනු ලැබ තිබේ.
අදාළ ස්ථානයේ තිබීම මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර් ලක්ෂ 02ක් සමඟ කසිප්පු පෙරීමට උපයෝගී කර ගත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අසේල කුරුළුවංශ සහ රුවන් මීගම්මන