Wednesday, April 23, 2025
Home » වතුගෙදරින් හමුවූ රෝස නයා ජාතික සත්වෝද්‍යානයට

වතුගෙදරින් හමුවූ රෝස නයා ජාතික සත්වෝද්‍යානයට

by sachintha
October 9, 2024 1:35 am 0 comment

වතුගෙදර ආඳාදොළ ප්‍රදේශයෙන් නැවතත් රෝස පැහැති නයකු හමුවූ අතර, ජාතික සත්වෝද්‍යානයෙන් බව පවසා පැමිණි පිරිසක් එම නයා රැගෙන යාමට තිබූ සැලැස්මක් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යාර්ථ කෙරේ.

වතුගෙදර ආඳදොළ ප්‍රදේශයේ දින කිහිපයකට පෙර නිවෙසක් අසලට පැමිණ තිබූ රෝස පැහැයට හුරු නයි පැටවකු ප්‍රදේශයේ පරිසරවේදියකු වන වීර කොණ්ඩාරච්චිගේ ජැක්සන් මහතා විසින් අල්ලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලදි. ඉන් අනතුරුව ඊට දින කිහිපයකට පසු මුල් නයි පැටවා හමුවූ ස්ථානයට මඳක් නුදුරින් පිහිටි නිවෙසකට තවත් රෝස පැහැති නයි පැටවකු පැමිණ තිබූ අතර එම නයි පැටවා පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව ප්‍රදේශයේ පරිසරවේදියකු වන වීරකොණ්ඩාරච්චිගේ ජැක්සන් මහතා එම ස්ථානයට පැමිණ නයි පැටවා අල්ලාගෙන ඇත.

මේ අතර මෙම නයා සම්බන්ධව ජාතික සත්ත්වෝද්‍යානයෙන් යැයි පවසා පිරිසක් නයි පැටවා රැගෙන යාමට පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් ජාතික සත්ත්වෝද්‍යානයෙන් විමසූ විට ඔවුන් පවසා සිටියේ එයට සත්ත්වෝද්‍යානයේ කිසිවකුගේ හෝ සම්බන්ධයක් නොමැති බවයි. ඔවුන් පවසා සිටියේ වෙනත් කණ්ඩායමක් ජාතික සත්වෝද්‍යානය නමින් මෙම සත්ත්වයා රැගෙන යෑමට කටයුතු කරන බවයි. ජාන විකෘතිතාවක් නිසා කලාතුරකින් බිහිවන මෙවැනි සතුන්ට විදේශවලින් ද විශාල ඉල්ලුමක් තිබෙන බැවින් එවැනි සතුන් පිටරට යැවීමේ ජාවාරමක නියුතු පිරිසක් විසින් මෙසේ නයා රැගෙන යෑමට දරන උත්සාහයක් බැවින් එය වැළැක්විය යුතු බව ජාතික සත්ත්වෝද්‍යානය විසින් දැනුම් දෙනු ලැබීය. ඉන් පසුව හික්කඩුව වනජීවී කාර්යාලයේ උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා ද දැනුම්වත් කිරීමෙන් අනතුරුව ජාතික සත්ත්වෝද්‍යානයේ උරග අංශයේ පාලන නිලධාරි නලින්ද ජයලත් මහතා ඇතුළු පිරිසක් මෙම නාගයා රැගෙන එන පිරිස පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළ අතර නාගයා රැගෙන යෑමට පැමිණි පිරිස මෙම නිලධාරීන් පැමිණීමට පෙර ඇතිවූ සැකයක් මත පිටත්ව ගොස් ඇත. එම නිසා රටට අහිමි වන්නට තිබූ සත්ත්ව සම්පතක් ජාවාරම්කරුවන්ගෙන් බේරා ගැනීමට හැකි විය. ඉන් පසුව මෙම රෝස පැහැති නයි පැටවා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන යන ලදි.

කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT