Home » කුලුන මතට දිය යුතුවේ කුලුණු ගුණ

කුලුන මතට දිය යුතුවේ කුලුණු ගුණ

by sachintha
October 9, 2024 1:00 am 0 comment

අද මේ තීරුව වනාහි තනිකරම ආයාචනික කලාපයකි. මේ තරම් අසරණභාවයකට අප පත්ව ඇත්තේ අනාගත පරපුර සම්බන්ධයෙන් ඇති විපිළිසරභාවය නිසාය. නිමිත්ත වන්නේ නෙළුම් කුලුන, සිය ජීවිතය හානි කර ගැනීම සඳහා යොදා ගන්නා ලද දියණියය. මෙවන් ගින්නක්, ඒ මවුපියෝ සහ පවුලේ නෑ හිතවතුන් කෙසේ උහුලා ගන්නේ දැයි නොදනිමු. අසන දකින අපගේ පපුව ද, ඒ හැම වාරයක් පාසාම පත්තු වී යන්නේය. දරුවෝ වනාහි ඒ මවුපියන්ගේ සම්පත පමණක් නොවේ. අම්මා අප්පා ආදරයට පණ කියන්නා සේම සමාජයේ පණ ද ඒ දරුවෝය. එවන් දරුවෙක් මේ ආකාරයට සමාජයෙන් සමුගන්නේ නම් වැරැද්ද අප සියලු දෙනාගේය. මේ නිසා එම දියණිය අහිමි වූ පවුලේ අය ගැන හෝ ඒ වටපිටාව පිළිබඳව තොරතුරු සොයමින්, ඒ ආදරණීයයන් යළිත් වරක් අඳුරේ ගිල්වා සතුටු නොවන ලෙස මේ රටේ මාධ්‍යයෙන්, සමාජයෙන් පළමුව අප ඉල්ලා සිටිමු.

ඇල්ටෙයාර් කුලුනෙන් දරු දෙදෙනෙක් බිමට පනින ලද්දේ පසුගිය ජූලි මාසයේය. ළමා සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් අප කැලඹීමට පත්වූයේ මෙම සිද්ධිය හේතුවෙනි. තම දිවිය තොර කර ගැනීම සඳහා, දරුවන් දෙදෙනකු ඒ ආකාරයෙන් උඩ සිට බිමට පැනීම තෝරාගැනීම, රටේ ජන මනස සසල කළේය. එය සමාජ ව්‍යසනයේ එක් පැතිකඩක් ලෙස අප විසින් සලකන ලදි. දියණියක් සහ පුත් රුවනක්, සැලසුම්සහගත ආකාරයෙන් සියදිවි හානි කර ගත් විට ඒ සඳහා කතා ගොතන සේනාවක් මේ රටේ සිටියහ. එය නාට්‍ය ජවනිකාවක් සේ දවස් දෙකක් තලු මැරීම සඳහා යොදා ගත්තා මිස ඉන් එහාට මේ පිළිබඳව විමර්ශනාත්මක කතිකාවතක් සඳහා මේ රටේ ජනමාධ්‍ය හෝ ගියේ නැත. සියලු මාධ්‍යයන්ගේ වෑයම වූයේ ‘පුවතකින් නොකී පුවත’ සොයා ගැනීමය. මෙවන් සිද්ධියක පිටුපස ඇති කතාව සඳහා පුවත් වටිනාකමක් ඇත්තේය. එය පමණක් භාවිතය සඳහා ගන්නේ නම්, යළි එවන් ව්‍යසන සඳහා සමාජයක් ලෙස අප මුහුණ දෙන බව කිසිදු මාධ්‍යයක් කල්පනා කළේ නැත. නෙළුම් කුලුනෙන් තවත් දියණියක් බිමට පැනීම සඳහා හේතු වන්නේ මේ ආකාරයට ‘කතාව රස විඳීම’ දක්වා පමණක් වූ වපසරියක මාධ්‍ය ගමන් කිරීම බව, අපටම කසෙන් තළාගෙන අප කිව යුත්තේය.

ළමා සියදිවි නසා ගැනීම් ලෝකයේ පුරා වර්ධනය වී ඇත්තේය. සමාජ මාධ්‍ය භාවිතය කරණකොටගෙන මෙම වර්ධනය සිදුවෙන බව පෙනී ගොස් තිබේ.

සයිබර් බුලින් හේතුවෙන් ළමෝ මේ සඳහා පෙලඹෙන බවට වාර්තා පළවී ඇත්තේය. විශේෂයෙන්ම මේ කාලයේ දරුවාගේ සියලු ප්‍රශ්න සඳහා වූ සිරි අයියා ලෙස ක්‍රියා කරන්නේ සමාජ මාධ්‍යය. එහි එන්නා වූ අත්හදා බැලීම් සහ උපදේශන සඳහා දරුවා පෙලඹෙන්නේ ප්‍රශ්න කිරීමෙන් තොරවය. සමාජයේ පීඩාවන්, පාසල් පීඩන සහ පවුලේ ගැටලු ආදිය සඳහා එකම පිළිසරණ සයිබර් අවකාශය වන විට, මෙවන් උපදේශන ආදිය ද එහි ගැබ්ව ඇත්තේය. 10-24 වයසේ කණ්ඩායම අතර සියදිවි නසාගැනීමේ අනුපාතය 2010-2020 වසර අතරේ, 57%කින් වැඩිවීම සඳහා බලපා ඇත්තේ මේ කාරණයය.

දකුණු කොරියාවේ ළමා සියදිවි නසාගැනීමේ අනුපාතය ඉහළම මට්ටමකට පැමිණ ඇත්තේ, පාසල් පීඩනය, විභාග පීඩනය සහ සමාජ සම්බන්ධීකරණයේදී සිදුව ඇති අයථා භාවිතාවන් නිසාය.

මේ වයසට කියන්නේ මොළයට සමනල් ගැටය වැටෙන කාලය කියාය. එම කාලයේ ළමයා වනාහි වෙනම තේරුම් ගත යුතු සන්දර්භයකි. පෙරේදා අප අත්හැර ගිය දියණිය ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරන්නීය. දරිද්‍රතාවය වන් ප්‍රශ්න ඇයගේ පරිසරයේ නැත. එහෙත් බලපෑම යන්න ඇයගේ පන්තියේ ඇත්තේය. ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පසුගිය ජූලි 02 දා බිමට පැන සිය දිවි හානි කරගත් සිසුවාගේ සහ සිසුවියගේ හොඳම මිතුරියක් වූයේ ඇයය.

සිය මිතුරන් දෙදෙනා නැතිවූ ශෝකයෙන් තෙමස පිරෙන සමයේ ඇය ද සමුගන්නා ලද්දේ එම බලපෑම හේතුවෙන් බව සිතිය හැක්කේය. නැතහොත් එක් කණ්ඩායමක් ලෙස මේ පසුපස කිසියම් දෙයක් තිබෙනවා විය හැකිය.

සිද්ධි දෙකම ඉහළ උසක සිට බිමට පැන සියදිවි නසා ගැනීම්ය. පාසල් බෑග් පසෙක තබා, පාසල් නිල ඇඳුම වෙනුවට වෙනත් ඇඳුමකින්, මේ සිද්ධි දෙකේදීම දරුවන් සැරසී සිට ඇත. මේ සියල්ල අප වහ වහා ඇගයීමට ලක් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව 2010න් පසු වැඩි වී තිබේ. විශේෂයෙන් තරුණ හා පාසල් වයසේ ළමුන් අතර මීට බලපාන හේතු වී ඇත්තේ පවුල් පීඩන, ආර්ථික අසීරුතා සහ ශාපකර සමාජ මාධ්‍ය බලපෑම් බව සඳහන් වුවද මෙම මරණය අරබයා වෙනත් තත්ත්වයක් තිබෙන බව කිව හැක්කේය.

අප භීතියට පත්විය යුත්තේ 2019 වසරේ යුනිසෙෆ් වාර්තාව දෙස බලන විටය. ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම තරුණ සියදිවි නසාගැනීම් අනුපාතයක් ඇති රටවලින් එකක් ලෙස එහිදී සලකා තිබේ. වයස අවුරුදු 15-24 අතර තරුණයන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව මේ තරම් ඉහළ යෑම සඳහා බලපා ඇත්තේ, මානසික පීඩනය, සමාජ හා ආර්ථික ගැටලු සහ පවුලේ ගැටලු ආදිය බව මෙම වාර්තාව දක්වන්නේය. සිටිනා ස්ථානය පැහැදිලි බැවින් මෙය සමාජ ව්‍යසනයක් ලෙස මිස පවුලට තනි බරක් යෙදවිය හැකි යමක් නොවන බව කිව යුත්තේය. ඒ හේතුවෙන් අප සැම දෙනාම සිය වගකීම ලෙස මෙම ව්‍යසනයට එදිරිව සිය යුතුකම් කොටස සඳහා දැන් සිටම සූදානම් විය යුතු බව මෙම තීරුවේ අවධාරණය වන්නේය. එසේ නොමැත්තේ නම් අපට සිදු වනු ඇත්තේ මෙවන් කුලුනු වෙත කරුණා ගුණය හෙවත් කුලුණු බර වෙන ලෙස ඉල්ලා සිටීම පමණය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT