පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම (07) දා ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර යසසිරිපුර අංක 283 හි පදිංචි පැලපිටියගේ පියතිස්ස නමැති (63) හැවිරිදි විවාහක පෙදරේරුවකු බව පොලිසිය කියයි .
මියගිය පුද්ගලයාගේ සහෝදරිය මීට දින කිහිපයකට පෙර නිවසේ නාන කාමරයේ ලෙස්සා වැටීමෙන් වූ අනතුරකින් තුවාල ලබා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ සුව දුක් බැලීම සඳහා සිය බිරිඳ සමග (07) දා කැස්බෑව මඩපාත ප්‍රදේශයේ සොහොයුරියගේ නිවසට පැමිණ තිබේ.
එසේ සිටින අවස්ථාවේදී නිවස පිටිපස යහමින් වැඩී තිබූ වැටිමාර ගසක අතු කිහිපයක් කපා ඉවත් කිරීම සඳහා ගසට නැගි අවස්ථාවේ දී විදුලි සැර වැදී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් මෙම පුද්ගලයාගෙ කද පහලට වැටී ඇති අතර කකුල් දෙක අතු දෙකක් අතර සිරවීම නිසා ගසෙහිම එල්ලී තිබෙනු පරීක්ෂණ සඳහා ගිය පොලිස් නිලධාරීන් දැක තිබේ.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස්මත වැඩිදුර පරීක්ෂණ පවත්වති .