කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයකුට දෙනෝදහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් සහ ඇගේ පවුලේ සාමාජිකයන් තිදෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (8) දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි නීතිඥ නිමේෂා දුෂානි වානගුරු (27) ඇයගේ සැමියාවන වීරතුංග ජයවර්ධන තුමේෂ් ගිහාන් කාංචන (27) දොන් අසේල හේමන්ත වානගුරු (නීතිඥවරියගේ පියා)නැඟණිය වන රුවිෂානි කමේශි වානගුරු (24) යන අයවලුන්ය.
සැකකාර නීතිඥවරියගේ පියා පෙරේදා (06) පෙරවරුවේ පොල්ගස්ඕවිට දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් මෝටර් රථය නවතා තිබී ඇත. එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථයක් රියදුරුගේ ග්‍රහණයෙන් මිදී මඳක් ඉදිරියට පැමිණ මෝටර් රථයේ පිටුපස ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී ටිපර් රථ රියදුරුද ටිපර් රථයෙන් බිමට බැස ඇති අතර මෝටර් රථ රියදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනකුද ඒ සමඟම මෝටර් රථයෙන් බිමට බැස රියදුරුට දොස් පවරමින් ඔහුව වට කරගෙන ඇති අතර කාන්තාවන් ටිපර් රියදුරුව අල්ලාගෙන සිටියදී මෝටර් රථ රියදුරු ඔහුට පහර දී ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සැරයන්වරයා එම ස්ථානයට පැමිණ ටිපර් රියදුරට පහරදීම සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරුද අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටිපර් රියදුරුද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම්වීමේදී යතුරුපැදියකින් සැමියා සමඟ පැමිණ තිබූ නීතිඥවරිය සැරයන්වරයාගේ නිල ඇඳුමේ කොළරයෙන් අල්ලා ” මම ලෝයර් කෙනෙක් තමුසෙ කොහොමද මගේ තාත්තව අරන් යන්නේ
තමුසෙට මගේ තාත්තව අරගෙන යන්න දෙන්නේ නැහැ ” යැයි පවසමින් පරුෂ වචනයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය කියයි.
එම පිරිස පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුවද පොලිසිය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබූ අතර නීතිඥවරිය නැවතත් පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ ඉදිරිපිටදීම සැරයන්වරයාගේ නිල කබායෙන් එහි බොත්තමක්ද කැඩී යන ආකාරයෙන් ඇද උදර ප්‍රදේශයට පහරක් එල්ල කිරීමත් සමඟම ඇයගේ නැඟණිය විසින් පිටකොන්ද ප්‍රදේශයට පහරක්ද එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරකින් පසු රියැදුරුට පහර දීම, පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීම, අනර්ථයක් සිදුකිරීම හා පොලිස් ස්ථානයේ සාමය කඩවන පරිදි හැසිරීම යන චෝදනා යටතේ මොවුන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ