Monday, April 21, 2025
Home » ඇමෙරිකා ජනපතිගෙන් අනුර ජනපතිට ලැබුණු සුබ පැතුම

ඇමෙරිකා ජනපතිගෙන් අනුර ජනපතිට ලැබුණු සුබ පැතුම

by chanaka
October 8, 2024 3:09 pm 0 comment

ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ සඳහන් කර තිබේ. “මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කෙරේ.“

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපති ජෝ බයිඩන් මහතා අවධාරණය කර තිබේ.

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපති බයිඩන් මහතා විසින් සුභවාදී අදහස් පළ කරන ලදී.

ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යොමු කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම පණිවිඩය ඇමෙරිකානු-ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපයට ප්‍රතිලාභ ගෙන දෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන මුලපිරීම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරට තුළම ඇති සූදානම ද පෙන්නුම් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT