
පුත්තලම දිස්ත්‍රික් ලේකම්
එච්.එම්.එස්.පී. හේරත්
ඡන්දය යනු රටක පුරවැසියකු සතු බලගතු අවියකි. ඒ අවිය ක්‍රියාත්මක කිරීමෙන් රටක බලය පවරා දිය යුත්තේ කාටදැයි ඔවුන්ට තීරණය කළ හැකිය. ශ්‍රී ලාංකික ඡන්ද දායකයන්ට තම නිවෙස ආසන්නයේම පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී තම අයිතිය භාවිත කිරීමට සියලු පහසුකම් සලසා දීමට මැතිවර්ණ කොමිසම ප්‍රමුඛ ආයතන කටයුතු කර ඇත්තේ මේ සුවිශේෂ හිමිකමේ වටිනාකමට නිසි තැන දෙමිනි. එලෙස පහසුකම් සලසා තිබියදීත් තම වටිනා ඡන්දය භාවිත කිරීමට උනන්දුවක් නොදක්වන මිලියන තුනකට අධික ඡන්ද දායකයන් පිරිසක් අප රටේ වෙසෙන පසුබිමක අප මෙහිදී කථා කරන්න යන ඡන්ද දායකයා විශේෂිත පිරිසකි. ඔවුහු පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපයේ දූපත් වළල්ල තුළ ධීවර රැකියාවේ නිරත වී සිටින පිරිසකි.
කල්පිටිය අර්ධද්වීපයට අයත් දූපත් 14 අතුරින් පල්ලියවත්ත, උච්චමුණේ, බත්තලන්ගුණ්ඩුව, රෝදපාඩුව, කිරිමුන්දලම, මෙහොත්තුවාරම යන දූපත් හයේ ස්ථිර ලෙස පදිංචි ධීවරයන් 904 දෙනකුට තම ඡන්ද අයිතිය හිමිව ඇති අතර, ඔවුන් තම ඡන්දය භාවිත කිරීමට ඔවුන්ගේ වියදමින් ඉන්ධන යොදාගනිමින් තම ධීවර යාත්‍රා මඟින් මොහොත්තුවාරම දූපතට මෙලෙස පැමිණීම දශක් කිහිපයක් තිස්සේ සිදු වන්නකි. තම දරුවන්ද කරපින්නාගනිමින් මේ ඡන්ද දායකයන් මෙලෙස ධීවර යාත්‍රාවලින් පැමිණීම අප කැමරා කාචවලද සටහන් වූයේ එහි සුවිශේෂත්වය රට හමුවේ තැබීම අත්‍යවශ්‍යම කරුණක් වන බැවිනි.

දරුවන්ද කරපින්නාගෙන
ඡන්දය දැමීමට පැමිණි මවක්
රුපියල් 5000කට වැඩි මුදලක් වැය කරමින් උච්චමුණේ දූපතේ සිට ඡන්දය භාවිත කරන්නට මෙහොත්තුවාරමට පැමිණි සුජිත් කුමාර මහතා මෙලෙස පවසන්නට විය:
“අපි හැම ඡන්දයකටම උච්චමුණේ සිට මොහොත්තුවාරම දූපතට ඡන්දය දාන්න එනවා. තෙල් මිල වැඩි නිසා දැන් නම් රුපියල් 5000කට වැඩි ඉන්ධන වියදමක් වැය වනවා. ඒත් එය අපි ලොකු දෙයක් කියලා හිතන්නේ නැතිව ඡන්දය දීලා යන්න එන්නේ ඡන්දයක වටිනාමක දන්න නිසා.”
උච්චමුණේ දූපතේ සිට මොහොත්තුවාර දූපතට පැමිණි දෙදරු මවක වන ඩබ්. කෝලින් මහත්මිය:
“ඡන්දය කියන්නේ මිනිස්සුන්ගේ අයිතියක්. ඒ අයිතිය අපි හැම අවස්ථාවකදීම භාවිත කරන්න ඕනෑ. ඒ නිසාම තමයි අපි අපේ වියදමින් ඇවිත් ඡන්දය භාවිත කරන්න කටයුතු කළේ. සමහරු ඡන්ද පොළට ඇවිත් එය කුරුටු ගානවා. එය අපරාධයක්. මොකද ඡන්දයක වටිනාකම නොදන්න නිසා තමයි මේ දෙය කරන්නේ. ඒ නිසා තමයි අපි අපේ දවසත්, මුදලුත් වියදම් කරලා නිවැරදි ලෙස ඡන්දය භාවිත කරන්නේ.”
බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ධීවර යාත්‍රාවලින් මොහොත්තුවාරම දූපතට පැමිණි එන්. නීලා මහත්මිය:
“අපි හැමදාම ලොකු මුදලක් වියදම් කරගෙන තමා ඡන්දය දාන්න එන්නේ. අපිම සල්ලි දාලා බෝට්ටුවලින් එන්නේ. අපි කාට ඡන්දේ දුන්නත් ඡන්දෙන් පස්සේ කාටවත් අපිව මතක නැහැ. ආයෙත් අපිව මතක් වෙන්නේ ඡන්දයකදි විතරයි. මේ නිසා අපි ගැන මෙයට වඩා හිතන්න කියලා හැම කෙනාටම කියනවා.”
දූපත්වාසීන්ට ඡන්දය පළ කිරීම සඳහා සලසා ඇති පහසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා පළ කළේ මෙවන් අදහසකි:

මොහොත්තුවාරම දූපතේ පාසලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය
“දූපත්වල ස්ථිර පදිංචිකරුවන් සඳහා ජන්ද මධ්‍යස්ථානය ලෙස මොහොත්තුවාරම දූපතේ පිහිටි පාසල ඡන්ද මධ්‍යස්ථානය ලෙස භාවිත කරනවා. ඒ ස්ථානයට පැමිණීමට දූපත්වාසීන්ට අපි ට්‍රැක්ටර් හා නාවික හමුදාව මැදිහත් වී යාත්‍රා යෙදවිමට කටයුතු කර තිබේනවා. ඒත් මේ ස්ථානයේ ඡන්ද හිමියන් 904කට අප පහසුකම් යෙදවුවත් ඒ අයගේ ධීවර යාත්‍රාවලින් පැමිණීමට පුරුදු වෙලා තිබෙනවා. ඇත්තටම මේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය භාවිත වීම ඉතා හොඳ තත්ත්වයක පවතින මධ්‍යස්ථානයක්. අත ළඟ ඡන්ද මධ්‍යස්ථාන තිබෙන ඡන්ද දායකයන් ඡන්දය භාවිත කිරීම අඩු වෙද්දී මේ දූපත්වාසීන් තම ඡන්දයට දක්වන උනන්දුව ඉතා වැදගත් තත්වයක්.”
සැබවින්ම මේ දූපත්වාසීන් ඡන්දයේ වටිනාකම පෙන්වමින් ඡන්දය භාවිත කිරීමට දක්වන කැමැත්ත හාා උනන්දුව සුවිශේෂය. මේ ජනතාව රටට අවශ්‍ය මත්ස්‍ය සම්පත සපයා දීමට මහත් වෙහෙසක් ගන්නා පිරිසකි. එවන් වටපිටාවක බලධාරීන් මේ ජනතාව වෙත වරක් නොව දෙවරක් තම අවධානය යොමු කළ යුතුව තිබේ.