මහා ජල ගැල්ම හේතුවෙන් පොළෝ තලයේ ජීවිත සියල්ල සුන්ව ගියේය. ජීවයක් ශේෂව තිබුණේ නෝවාගේ නෞකාවේ පමණය. වතුර බැසගිය බවට ඉඟි පළවී තිබුණේය. එසේ වුවද නෞකාවේ සිටි සත්ත්ව වර්ගයා එහෙම්පිටින් එළියට දැමීම නොහැකි බව වටහාගත් නෝවා, වටපිටාව දැනගනු රිසින් කපුටා එළියට මුදාහළේය. තමන්ට වසන්න ස්ථානයක් නොමැති හෙයින් කපුටා යළි නැව වෙත පැමිණියේය. කපුටු පරීක්ෂණය කිහිපවරක්ම සිදු කරන ලද නෝවා, ඊළඟට මේ පරීක්ෂණය සඳහා යවන ලද්දේ පරෙවියාවය. පරෙවි සිරිත ද කපුටු ගමන සේ විය. කිහිපවරක්ම පරෙවියා ද හැරී ආවේය. එක් දිනක් ඔලිව් කොළයක් හොටෙන් ගත් පරෙවියා නැවට පැමිණියේය. මේ සංඥාව වනාහි මහ පොළොව, ජීවයේ වාසය සඳහා සුදුසු යන්න හෙයින් නෝවා සිදු කරන ලද්දේ, නෞකාවේ සිටි සකල සත්ත්ව වර්ගයා මිහිමතට මුදාහැරීමය. එතැන් සිට ඔලිව් අත්ත සහිත පරෙවියා ලෝක සාමයේ සංකේතය විය. මේ බයිබලයේ එන නෝවාගේ කතාවය.
නෝවා යන ලේබලය සහිත සංගීත ප්‍රසංගයක් ‘එකමුතුභාවයේ සහ ආදරයේ ගමන’ යන තේමාව යටතේ ඊශ්‍රායලයේ තාරුණ්‍යය රස විඳිමින් සිටියේය. නිවාඩු දිනයක් වූ බැවින් ජන ගඟ, මනාවට විනෝද වෙනු පිණිස මේ භූමියට රැස්ව සිටියහ. අද මේ තීරුව ආරම්භ කරනුයේ ගිය ඔක්තෝබර් හත්වැනිදා පැවති එම සිද්ධියත් ආවර්ජනා කරමිනි. වසරක් ගතවී ඇත්තේ මුත් එම මතකය දිගේ අමතක නොවන බොහෝ දෑ ලෝකයා තවම අත්විඳින්නේය.
ගාසා තීරයේ සිටි පලස්තීන සටන්කාමීන් සංගීත සන්දර්ශනය මරළතෝනියක් බවට පත්කළහ. පුද්ගලයෝ දෙසිය හැටක් පමණ මරා දමනු ලැබීය. තවත් බර ගණනක් පැහැර ගැනීමට ලක්විය. ඔය අඩව්ව සඳහා අද දිනට වසරක් පිරෙන්නේය. මේ වසර තුළ තව බොහෝ දෑ එම සිද්ධිය වටා පිරී ගියේය. දැන් එය උතුරා ගොස් ඇත්තේ තුන් වැනි ලෝක යුද්ධයේ දිශාවටය.
සැප්තැම්බර් විසි හය වෙනිදා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ කතා කළ, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් “තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවිය හැකියි. අප වහා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුය” යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ ලෝක සාමය පැමිණ ඇති අවදානම් කලාපය පිළිබඳව වූ චිත්‍රය අවධාරණය කරමිනි. “ලෝකයේ ප්‍රධාන ගැටුම් තුනක්, වහා ගිනි ඇවිළෙනසුලු කොක්ටේල් එකක් සේ සම්මිශ්‍රණය වන ආකාරය දකින විට අපට අසරණ බවක් දැනේ.” යනුවෙන් හෙතෙම ලෝක නායකයන්ගේ අවධානය, ඇතිවීමට යන තත්ත්වය සඳහා ලක් කළේය.
1914 සිට 1918 යන වකවානුවේ පළමුවැනි ලෝක යුද්ධය ඇතිවිය. දෙවැනි ලෝක යුද්ධය ඇතිවන්නේ 1939 වසරේ සිට 1945 දක්වාය. සීතල යුද්ධය ආරම්භ වන්නේ 1947 වසරේදීය. එය නිමාවට පත්වන්නේ 1991 වසරේය. මේ ව්‍යාධි තුන හේතුවෙන් නූතන ලෝකයට අහිමිවී ගිය ජීවිත සංඛ්‍යාව කොළයකට ගත නොහැකි තරම්ය. දැන් අප පළමු පියවර පෙරට තබා ඇත්තේ තුන්වැනි ලෝක යුද්ධය දෙසටය.
පළමු උණ්ඩයෙන්මැ මිනිස්කම මියැදී වැටෙන, යුද්ධය වූ කලී, ප්‍රාණඝාතයේ නවාතැන්පොළය. මිනිස්කම කොක්කේ එල්ලා තබන මස් කඩයය. එම අත්දැකීමෙන් වසර තිහක් අඛණ්ඩව පීඩා ලැබූ අප, යුද්ධය යන මිනිස් වග සඳහා වූ නිගාව සඳහා කිසිදු අයුරකින් උල් පන්දම් දැල්විය යුතු නැත්තේය. මෙසේ සිහි කැඳවන්නේ, ඒ ආකාරයට ඊශ්‍රායලය සහ හමාස් ආදී සටන්, සමහරක් දෙනා මැච් එකක් සේ පැත්තක් ගෙන රස බලන්නේ බැවිනි. එවැනි වින්දනයක් සඳහා අප නොයා යුතු බව මේ තීරුවේ අදහසය.
විශේෂයෙන්ම වහා ගිනි ඇවිළෙනසුලු මේ මාතෘකාව සඳහා අප ද ප්‍රේක්ෂාකාගාරයක් වූ විට, ඒ සඳහා දෙපැත්ත බෙදී මරා ගැනීම සිදුවිය හැක්කේ හෙයින්, අහක යන යුද්ධයක අප ද කොටස්කරුවන් විය හැකිය. මේ පොළොවේ උපන්, ජීවත් වෙන මනුෂ්‍යයා වෙත අපමණ විසඳා ගත යුතු ප්‍රශ්න තිබේ. රටේ ආර්ථිකය සහ සංවර්ධනය වැනි සියල්ල ඇත්තේ අලුතින්ම ගොඩනැඟිය යුතු තැනකය. ඒ සඳහා අප කැපවීමෙන් කළ යුතු දෑ බොහෝය. ඒ මැද්දට මේ ආකාරයේ අහක යන නයි පොළොංගු කඩාගෙන වැටුණා කියන්නේ, අප යළි ගිනි ගැනීම සඳහා භාජනය වීමකි. ගාසා තීරය සඳහා ඊශ්‍රායලය සිදු කරන එළවා පහරදීම, පළිගැනීමේ ක්‍රියාව ඉක්මවා ඇත්තේය. අපරාධ වනාහි තවත් දැනෙන අපරාධයක් සිදු කර තුලිත කළ හැකි යමක් නොවේ. එහෙම මනුෂ්‍යත්වය ගර්හාවට ලක් කර තුලාවේ වැඩි බරෙන් ලබා ගන්නේ ප්‍රේත වස්තුවක්මය.
හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්‍රල්ලා, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් සහ හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට පළිගැනීමක් වශයෙන් ඉරානය ඔක්තෝබර් පළවැනි දා ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 181ක් එල්ල කළේය. ඒ සඳහා පිළිතුරු ලෙස ඊශ්‍රායලය ලෙබනනයට හෙණ ගෙඩි පහත් කරන්නේය. ඔය යුද්ධය තුන්වැනි ලෝක යුද්ධය දක්වා දිගු වීම අප වැනි කුඩා රටකට නැවැත්විය නොහේ. ලෝක බල දේශපාලනයේදී අප සිටිනුයේ පැත්තකට වී බලා සිටීමේ වපසරියේය. නැරඹුම් මැදිරියේ සිටින අපට මේ මොහොතේ ඇත්තේ ප්‍රාර්ථනා පමණය.
එයිට එහා යමක් ඇත්තේ නම්, මේ මැච් එකේදී අප එක් එක් පැති රැගෙන, මේ වසංගතය අපේ රටට බෝ නොකර ගැනීමේ වගකීමය. අද ලෝකය වෙත නෝවා පරෙවියා මුදා හළේ නම්, ඒ සතා මැදපෙරදිග පැත්තේ නොයන තැනට දැන් වැඩේ පත්ව ඇත්තේය. දෙවියන් අපට උදා කළ සොම්නස්සහගත ලෝකය සඳහා මිනිසුන් අත්කර දී ඇත්තේ එවැනි ඉරණමකි.