නුවරඑළිය මුස්ලිම් පල්ලිය අසල පිහිටි ආපණශාලාවක් වෙත ගොස් එහි හිමිකරුට සහ සේවකයකුට පහර දී පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළේ යැයි කියන නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර වෙනත් පොලිස් කොට්ඨාසයක සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විනය පරීක්ෂණයක් සිදු කිරීමට ඊයේ (04) දින පියවර ගත් බව නුවරඑළිය දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා පැවසීය.
මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම පොලිස් පරීක්ෂකවරයා ස්ථාන මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසු අගතියට පත් එම ආපණශාලාවේ හිමිකරු වන අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් (46) නුවරඑළිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත ඊයේ (04) දින පස්වරුවේ කැඳවා සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් ප්‍රකාශයක් ලබාගෙන ඇත.
පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යයට ද අදහස් දැක් වූ අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් කියා සිටියේ, තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් මින් ඉදිරියට පොලිස් නිලධාරින්ගෙන් මෙවැනි බලපෑම් නොවීමට උසස් පොලිස් නිලධාරින් වගබලාගත යුතු බවත්ය.