ප්රජාතන්ත්රවාදය සෞඛ්‍යසම්පන්න වනුයේ, මැතිවරණ පැවැත්වීම, රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාවය, පුරවැසියා වෙත වගවීම වැනි අභ්‍යන්තර කාරණා මත්තේ පමණක් නොවේ. ඒ සඳහා අත්‍යවශ්‍යම වනුයේ රාජ්‍ය තාන්ත්‍රික සත්කාරය ය. ඍජු ද්වි පාර්ශ්වික සබඳතා විෂයෙහි ශ්‍රී ලංකාව සමඟ නොබිඳිය හැකි පදනමක් ඇත්තේ ඉන්දියාවටය. එම සබඳතා තර කර ගැනීම සහ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණි, ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් ‘නමස්තේ’ කියා මේ තීරුව විසින් පිළිගන්නේය.
ජය සහ විජය යනු විෂ්ණු දේව අඩවිය වූ වෛකුණ්ඨයේ ද්වාර පාලකයෝ දෙදෙනාහ. අප දන්නා කියන ස්ථානහි ලොක්කන්ගේ කාමර සඳහා ඇතුළු වීමේ දී රැවුම් ගෙරවුම් රාශියක් බලන්නට වන්නේ, මේ දොරටු පාලකයන්ගෙන්ය. සිය ආරක්ෂාව පතා ඇතුල් වෙන දොර අසලට ඒ ආකාරයෙන් විෂ්ණු දෙවි තොමෝ පත් කර ගන්නා ලද්දේ ජය සහ විජය ය. ඔවුහු ලොක්කා ආරක්ෂා කිරීමට යෑම නිසා විවිධාකාර ශාපයන්ට ලක්වූහ. ලක් වු ශාපයන් කරන කොට ගෙන වෙනස්කම් සඳහා මොවුහු නිතර භාජනය වූහ. සත්‍ය යුගයේදී හිරණ්‍යකශිපු සහ හිරණ්යාක්ෂ ලෙසත් ත්‍රේතා යුගයේදී රාවණා සහ කුම්භකර්ණ ලෙසත් අවසාන ද්වාපර යුගයේදී ශිශුපාල සහ දන්තවක්ර ලෙසත් ජය සහ විජය පත් වන්නාහ.
‘ජය’ චිත්‍රයට නැඟූ කල, ඔහුගේ වම් අතෙහි චක්‍රයකි, ඉහළ දකුණු අතේ ශංඛයකි. දෙවියන් නිම වන්නේ මිනිසාගේ අතිනි. ඔහු ඒ සඳහා ගුරු කර ගන්නේ තවත් මිනිසෙක් කියන හෝ ලියන ලද්දකි. ‘ජය’ගේ, දකුණතට ශංඛ්‍ය ලැබුණු කල්හි එය ජය ශංඛය බවට පත් වන්නේය. එවන් නාමයක් සහිත වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා දුටු වන මේ රාජ්‍යය සඳහා මිත්‍ර හැඟීමක් මතුව එන්නේය. ඔහු නියෝජනය කරන්නේ අසල්වැසියාගේ භූමිකාව යැයි ලඝු කළ නොහේ. එහා ගෙදර සහ මෙහා ගෙදර අතර අර්බුද බහුල බැවින් අසල්වැසියා කියූ විට එදිනෙදා තමන්ගේ නිවෙස් වටපිටාව සමඟ ඉන්දීය – ශ්‍රී ලංකා අසල්වැසි භූමිකාව පටලවා නොගන්නා ලෙස මේ තීරුව ඉල්ලා සිටින්නේය. හදිස්සියකට අසල්වැසියෙක් යන වහර අනුව පමණක් ද ඉන්දියාව දෙස අපට බැලිය නොහැක්කේය. සම සුඛ දුක්ඛ යන ආකෘතිය අනුව සහ කලාපයක් ලෙස ලෝකයාට මුහුණ දීම සඳහා අප, ඉන්දියාව සහ අවට රටවල් සමඟ එක පෙළට සිටගත යුත්තේය. එබැවින් ඉන්දීය භූමිකාව සම්බන්ධයෙන් වූ තීරණාත්මකභාවයක් අපට ඇත්තේය.
නොබැඳි පිළිවෙත නම් අපගේ සදාතනික විදේශ ප්‍රතිපත්ති මුද්‍රාව දැන් යල් පැනගිය එකකි. එම සීල් එක ගසාගෙන වචන හරඹ කළ හැක්කේ වුවද, රටේ අනාගතය සඳහා වූ දරදිය ඇදීමක් බවට එය පත් කර ගත නොහැක්කේය. දැන් තාලය වෙනස්ය. වෙනදා සතුරු කාණ්ඩ බවට සදාකාලික වූ රටවල්, එක් තැනක සතුරන් ලෙසත් තව තැනක කරට අත දාගෙන ද සිටින්නේය. පිළිවෙත වූ කලී බෝල්ට් නට් දමා සවි කරන ලද යමක් නොවේ. එය විෂය මූලික සහ තත්ත්වය අනුව දෝලනය වන්නකි.
ඒ ආකාරයේ භාවිතයක් අපට ඕනෑම රටක් සමඟ තිබිය හැක්කේ වුවද, ඉන්දියාව සමඟ වූ බැම්මට එහෙම දෝලනයක් නැත. නළලේ කොටන ලද මිත්‍ර සන්ථවයක අප දෙදෙනා බැඳී ඇත්තේය. “ඉන්දියාවට ශ්‍රී ලංකාව ඉතාමත් වැදගත් සහ ප්‍රධාන සහකාර රාජ්‍යයකි.” යන ජයශංකර්ගේ ප්‍රකාශය ගෙනහැර දක්වන්නේ එම බැඳියාවය. බැඳියාව ඇති සහෝදරයෝ විටින් විට සිය සබැඳියාව වෙනස් කර ගන්නා සේ ඉන්දීය හැසිරීමේ අමිහිරි පල අප කාලයක් තිස්සේ විඳවූවෙමු.
ඒ සියල්ල ගංගා නම් ගඟේ පා කළ අළු මෙන් අතීතයට එක් වී හමාරය.
විශේෂයෙන්ම නරේන්ද්‍ර මෝදි පාලනය වනාහි ඉන්දියාවේ එතෙක් පැවති ප්‍රභූත්ව දේශපාලනයට වෙනස් මඟක් ගත්තකි. එම දේශපාලනය ඉන්දීය මධ්‍යම පන්තියේ ජනප්රියභාවය සඳහා හේතු විය.
ශ්‍රී ලංකාව සඳහා අසීරු අවස්ථා ගණනාවකදී ඉන්දීය සහාය හිමිවූයේය. කොවිඩ් සමයෙන් පසුව අප ලක්වූ ආර්ථික අසීරුතාවය හේතුවෙන් ඉන්න හිටින්නත් බැරි ගාණට ශ්‍රී ලංකාව පාත් වූ විට, ඉන්දියාව අපේ සහායට ආවේය. කලාපයේ බල තුලනය සඳහා ඉන්දීය මැදිහත් වීම් පෙර කාලයේ පැවතිය ද, දැන් ඉන්දියාව සිය කලාපයේ මිත්‍රයන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරනා ස්ථාවරයක සිටින්නේය.
මෙම ස්ථාවරය ගොඩනැඟීම සඳහා විසල් කාර්යයක් ඉටු කරන ලද්දේ ඊයේ මෙම දිවයිනට පැමිණි ජයශංකර් විදේශ ඇමැතිවරයාය. හෙතෙම ඉන්දියාවේ නව විදේශ ගමන අලළා රචනා කරන ලද කෘතිය ෆාත්ෆයින්ඩර් පදනම සිංහලට නඟා, ඊයේ දිනයේම ජයශංකර් අතට පත් කළේය. ඉන්දීය ගමන නම් වූ එය, අප කලාපය සඳහාම න්‍යාය පත්‍රයක් බවට එක් අතකින් පත් වෙනවා ඇත.
‘වික්ෂිත් භාරත්’ නමින් ඉන්දියාවේ ඉදිරි විසි පස් වසර පිළිබඳව ජයශංකර් වරක් දේශනයක් පැවැත්විය. “අප යාත්‍රා කරනුයේ ‘වික්ෂිත් භාරත්’ වෙතයි. ලෝකයත් අපි දිහා බලාගෙන ඉන්නවා. ඉදිරි අවුරුදු 25 තුළ, නව අවස්ථා, නව තාක්ෂණයන් සහ නව අභියෝග සඳහා වූ කාලපරිච්ඡේදයක් ලෙස අප දකිනවා. ඉන්දියානුවන් අංක දෙක වීමට කැමති නැත. නමුත් අපි ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වනු ඇත.යනුවෙන් ඔවුහු එහිදි ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට වැදගත් වනුයේ මේ සංලක්ෂණ අවස්ථාවය. ඉන්දියාව සමබර කර ගනිමින්, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ඇති ආර්ථික අවස්ථා, මෙම අවස්ථාවේදී අප නෙළාගත යුතු වෙමු. ඒ සඳහා ජයශංකර්ගේ ගමන අපට නව එළියක් දල්වනවා ඇත.