Home » ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දූෂණ සොයන කමිටු වාර්තාවේ නිර්දේශ හිටපු පාලකයන් කුණු කූඩයට දමා තිබෙනවා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දූෂණ සොයන කමිටු වාර්තාවේ නිර්දේශ හිටපු පාලකයන් කුණු කූඩයට දමා තිබෙනවා

මල්වතු - අස්ගිරි මහනායක හිමිවරුන්ට ජේ. ශ්‍රී රංගා කියයි

by mahesh
October 4, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ හිටපු පාලකයන් කුණු කූඩයට දමා තිබෙන බවත් දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ජනවරමක් ලද ජනපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුවනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජේ. ශ්‍රී රංගා මහතා පවසයි.

ජේ.ශ්‍රී රංගා මහතා සහ පාපන්දු සම්මේලනයේ හිටපු නියෝජිතයින් පිරිසක් ඊයේ (04) මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක පාපන්දු සම්මේලනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුම්වත් කළහ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී රංගා මහතා මෙසේද පැවසුවේය.

පාපන්දු ක්‍රීඩාවෙන් රට නියෝජනය කරන ක්‍රීඩකයින් අන්ත අසරණව සිටිය දී පාපන්දු සඳහා රටට ගලා එන රුපියල් කෝටි ගණනක මුදල්වලින් පාපන්දු සම්මේලනයේ නිලධාරින් සුරසැප විඳිනවා.

පාපන්දු සම්මේලනයේ දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ මහතා පත්කළ පංච පුද්ගල කමිටුවේ නිර්දේශ මෙතෙක් ක්‍රියාවට නංවා නැහැ. රුපියල් මිලියන 08ක් වියදම් කරලා හදපු වාර්තාව හිටපු පාලකයින් කුණු කූඩයට දැම්මා.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කළා. ජනතාව එතුමාට ඡන්දයක් දුන්නේ රටේ වංචාව දූෂණය නැති කරන්නයි. පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට අනෙක් රටවල්වලට ලැබෙන මුදල් ප්‍රමාණය සැලකීමේ දී අපේ රටටත් ඩොලර් මිලියන 08ක් විතර ලැබෙන්න ඕනෑ. දේශපාලනඥයන් සමඟ සම්බන්ධ වෙලා තමයි මේ අය ගොඩ යන්නේ. ක්‍රීඩා ඇමැති එන්නේ මේක සුද්ද කරනවා කියලයි. ඇවිත් මාස හයක් ගියාට පස්සේ එයා හොරුන්ගේ පැත්තේ. මේ ලැබෙන මුදල්වලට මොනව ද වෙන්නේ කියලා නිලධාරීන් විගණන වාර්තාවක් දෙන්නේ නැහැ. පසුගිය කාලයේ රුපියල් මිලියන 25ක් සම්මේලනයට ලැබී තිබෙනවා. ඒවට වෙච්ච දෙයක් නැහැ.

වත්මන් ආණ්ඩුව මේවා සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගනියි කියලා අපි හිතනවා. මාව පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉවත් කරන්න කියලා හිටපු ජනපති රනිල් හා සාගල රත්නායක බලපෑම් කරනවා කියලා හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ කිව්වා. ඔයා යන්න නැත්නම් මටත් යන්න වෙයි කියලා තමයි රොෂාන් ඇමැති කිව්වේ. දූෂණ හොයන එක නවත්වන්න කියලා තමයි මේ අය කියන්නේ. හිටපු අධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මිය ඇතුළු කමිටුවක් තමයි ක්‍රිකට් හා පාපන්දුවල වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා වාර්තාවක් නිකුත් කළේ. ක්‍රිකට් එක ගැන සොයා බැලුවත් පාපන්දු ගැන කවුරුවත් සොයා බලන්නේ නැහැ. මාධ්‍යවේදියකු ලෙස මම වංචා දූෂණ ගැන කතා කළත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් පාපන්දු සම්මේලනයේ වංචා දූෂණ ගැන කතා කළාම මට මාස 8ක් හිරේ යන්න වුණා. ඒ තරමට හොරු බලවත්. පාපන්දු සභාපති ත්‍රීවීල් එකේ ආවේ. දැන් යන්නේ බී.එම්.ඩබ්ලිව්. කාර් එකක. ලංකාවේ වත් ගෙවල් නොතිබුණු අයට දැන් ඔස්ට්‍රේලියාවේ ගෙවල් තියෙනවා. පාපන්දු ක්‍රීඩා කරන අය ත්‍රීවීල් එළවනවා. වයරින් කරනවා. මාළු අල්ලනවා. ඒ අයට සල්ලි නැහැ. මේ පාලකයෝ ලීග් එකට රුපියල් ලක්ෂ 2 1/2ක් දෙන්නේ නැහැ. සම්මේලනයේ අවුරුදු 30ක් එකම මුහුණුවල්. දේශපාලනඥන්ට වඩා හොරු පාර්ලිමේන්තුවෙන් පිට ඉන්නවා. හොරු අල්ලන්න ආපු ඇමැතිවරුන්ව අල්ලන තරමට මේ අය ශක්තිමත්. අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ මේවා හරියට කෙරෙයි කියලා අපි විශ්වාස කරනවා.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, පාපන්දු ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති සුනිල් පෙරේරා, තිලක් පීරිස් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජේ. ශ්‍රී රංගා ඇතුළු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරින් මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක පාපන්දු සම්මේලනයේ සිදුව ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ වාර්තාවක් ලබා දුන් අයුරු. ඡායාරූප- රුවන් මීගම්මන

ජේ. ශ්‍රී රංගා ඇතුළු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරින් මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක පාපන්දු සම්මේලනයේ සිදුව ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ වාර්තාවක් ලබා දුන් අයුරු. ඡායාරූප- රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT