බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන චෝදනාව යටතේ හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් චීවරධාරියකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (03) නියෝග කළාය.
මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ හෝමාගම, කටුවාන, දුවවත්ත පාර ප්‍රදේශයේ අසපුවක් නමින් පවත්වාගෙන යනු ලබන ස්ථානයක වැඩ විසූ බලන විජිත නම් චීවරධාරියෙකි.
මෙම චීවරධාරියාට එරෙහිව මීට පෙරද බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත සිටින අයකු බවත් සහ අලව්ව පොලිස් වසමේ ඒ ආකාරයෙන්ම පිරිමි දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද හෝමාගම පොලිස් ස්ථානය මඟින් අධිකරණය වෙත කරුණු අනාවරණය කරන ලදි. මෙලෙස ලිංගික අපයෝජනයට ලක්වූ 16 හැවිරිදි පිරිමි දරුවාගේ හඳහන අනුව එම දරුවාට ශාන්තිකර්මයක් කළ යුතු බව එම දරුවාගේ මවුපියන්ට පවසා එම දරුවා රැගෙන විත් අසපුවේ තබාගනිමින් ලිංගික අතවර කිරීමට සැරසී ඇති බවත් පසුව දරුවා සිරකර සිටි කාමරයෙන් පැනගොස් චීවරධාරියා විසින් ලිංගික අතවර කිරීමට සූදානම්වීම පිළිබඳව එම දරුවාගේ මවගේ ඥාතියෙකුට පැවසීමෙන් පසු එම දරුවාගේ මව විසින් හෝමාගම මූලස්ථාන පොලිසියට සිද්ධි සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඒ අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් එම අසපුව වෙත කිහිපවරක් ගියද සැකකාර චීවරධාරියා පලාගොස් සිටි බවද මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. සති තුනක පමණ කාලයක් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකාර චීවරධාරියා නීතිඥවරයකු සමඟ හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පැවසීය.