ගම්පොළ, අටබාගේ, උඩගම පුරාණ නාග ශ්‍රී බෝධි විහාරස්ථානයේ ඇතුලුගේ පිහිටි චෛත්‍යය ස්ථාන තුනකින් කඩා එහි තිබූ මිල කළ නොහැකි නිදන් වස්තු හා රනින් කළ කොත් වහන්සේ රැගෙන ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන පුස්සල්ලාව පොලිසිය පවසයි.
පැරණි පුස්කොළ පොත්වල සඳහන් පරිදි 1719 වසරේ මහනුවර රජ සමයේදී කරවා ඇති මෙම විහාරස්ථානයේ දළදා වහන්සේ පවා වඩාහිඳවා ඇති බව එම විහාරයේ විහාරාධිපති අටබාගේ රතනසාර හිමියෝ සඳහන් කළහ.
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණයෙන් පසු මෙම විහාරය එහි පිළිම වහන්සේලා හා පැරණි චිත්‍ර පුරාවිද්‍යා භාරයට ගෙන තිබුණි. ඊයේ (03) දින බුද්ධ පූජාව පැවැත්වීම සඳහා විහාර ගෙට යන විට නිදන් සොරුන් මෙලෙස එහි චෛත්‍යය බිඳ ඇති බව දැක තිබේ.
චෛත්‍යයේ ගර්භය හා එහි සතරැස් කොටුව බිඳ එහි තිබූ නිදන් වස්තු පැහැරගෙන ඇති සොරුන් රනින් නිමවන ලදයි සැලකෙන කොත් වහන්සේ ද ගලවා රැගෙන ගොස් තිබුණි.
මේ ආකාරයට පසුගිය කාලය තුළ මෙම විහාරස්ථානය අවට ඇති විහාරස්ථාන වන පල්ලේගම කන්දේ විහාරය, මහරවෙල විහාරය, මිල්ලගහමුල විහාරය, ඉබ්බංවැව විහාරය, දුනුකේඋල්ල විහාරය, ලැඟුම්දෙණිය විහාරස්ථාන දෙකක් හා පුස්සැලාව ආදී විහාරස්ථාන 12ක් මේ ආකාරයට නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක් වූ බව ද විහාරාධිපති හිමියෝ පැවසූහ.