Home » මිතුරාගේ පෙම්වතිය බැලීමට ගිය සිසුවා ඝාතනයට එරෙහිව විරෝධතාවක්

මිතුරාගේ පෙම්වතිය බැලීමට ගිය සිසුවා ඝාතනයට එරෙහිව විරෝධතාවක්

by mahesh
October 4, 2024 1:00 am 0 comment

මාතලේ මධ්‍යම සමූහ

ලෝක ළමා දිනයදා තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප්‍රදේශවාසීන් හා ඔහු ඉගෙන ගත් පාසලේ සිසුන් ඊයේ (03) වන දින විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

පහරදීමෙන් ඝාතනයට ලක්වූ පාසල් සිසුවාගේ නාලන්දවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස අසල සිට මහනුවර යාපනේ ඒ 9 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 5ක පමණ දුරින් පිහිටි ඔහු අධ්‍යාපනය ලැබූ කවුඩුපැලැල්ල කලෙයින්මගල් විදුහල වෙත ප්‍රදේශවාසීන් 500ක් පමණ පා ගමනින් පැමිණ විද්‍යාලයේ සිසුන් සමඟ එක්ව ඒ9 මාර්ගය විටින් විට අවහිර කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.

අමානුෂික ලෙස පහරදී ඝාතනය කරන ලද වයස අවුරුදු 17ක කවුඩුපැලැල්ල කලෙයි මගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නමැති පාසල් සිසුවාට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කර ඔහුගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය කලෙයිමගල් විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මමණ්ඩලය හා පාසල් සිසුන් විරෝධතාවය සඳහා එක්ව සිටියේය.

මාතලේ මහවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න මහතා මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධියට අදාළ පාසල් සිසුවිය, ඇයගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය හා පහර දීමට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රදේශයේම තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මේ වන විට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොලිසිය හා තමා කෙරෙහි විශ්වාසය තබා විසිර යන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටව ගියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT