Home » පාස්පෝට් අද සිට දිවයින පුරා

පාස්පෝට් අද සිට දිවයින පුරා

by mahesh
October 4, 2024 1:00 am 0 comment

ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය පාස්පෝට් අද (04 දින) සිට දිවයින පුරා තිරගත වේ. මංගල දර්ශනය සිනමාපටයට දායක වූ කලාකරුවන්, හිතවතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ PVR සිනමා සංකීර්ණයේ දී පැවැත්වෙනු ඇත. මහේන්ද්‍ර පෙරේරා, ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, මල්කාන්ති ජයසිංහ, දර්ශන ධර්මරාජ් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ විදේශීය ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති. මෙය අද සිට MPI ප්‍රදර්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය. පාස්පෝට්, වෛද්‍ය විරන්ජිත් තාඹුගලගේ නිෂ්පාදනයකි.


බෙර වාදන සහ නර්තන ප්‍රසංගයක්

ඉන්දියානු කලාපය ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව යටතේ පවත්වනු ලබන බෙර වාදන සහ නර්තන ප්‍රසංගය අද (04) ප.ව. 04.30 සිට 05.30 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


ලසන්ති මනරංජනීගෙන් නව ගීතයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලසන්ති මනරංජනීගේ නවතම ගීතය පසුගිය දින එළිදැක්විණි. ගායනය, ආචාර්ය ලසන්ති මනරංජනී, ගේය පද – අජන්ත ද සිල්වා, සංගීතය – මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ. පටිගත කිරීම හා සංගීත සංයෝජනය – මිලින්ද තෙන්නකෝන්ගෙනි. නිශ්ශංක විජේරත්න


මිලාන්ගෙන් මට ආදරේ කර ඔබ යන්න යනකොට ගීතය ළඟදීම

ඇල්පිටියේ මිලාන් සංජීව ගායනා කරන ‘මට ආදරේ කර ඔබ’ ගීතය ළඟදීම ජනගත කිරීමට නියමිතය. එළිමහන් ප්‍රසංග වේදිකාවේ දක්ෂ ගායකයෙක් වන මිලාන් විරිඳු ගී ගැයුමෙහිද දක්ෂයෙකි. අත් රබන්, ඔක්තා පෑඩ්, බෙර වාදනය කිරීමටද ඔහුට හැකියාවක් ඇත. මට ආදරේ කර ඔබ යන්න යනකොට ගීතයේ ගායනය මෙන්ම පද රචනයද මිලාන් විසින් සිදු කර ඇත.


සුනිල සර 2 හෙට බෙන්තොටදී

නව පරපුරේ ගායන ශිල්පියෙකු වන බෙන්තොට, සුනිල් ශාන්ත නාගොඩ විතාන මහතාගේ “සුනිල සර 2” ඒක පුද්ගල ගී ප්‍රසංගය ආරාධිත ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණ මහතාගේ ගීත ගායනා කීපයක්ද සමඟින් හෙට (05) සවස 2.00ට බෙන්තොට ගාමිණී ජාතික පාසලේ රංග ශාලාවේදී පැවැත්වේ. මෙහිදී සුනිල් ශාන්ත මහතා විසින් ඔහුගේම ගීත සමඟ එච්. ආර්. ජෝතිපාල, සුනිල් එදිරිසිංහ, සිසිර සේනාරත්න, එඩ්වඩ් ජයකොඩි, බණ්ඩාර ආතාවුද, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා යන ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ගීත රැසක් ගායනා කරන අතර, දේවාංජනා නාගොඩ විතාන සහ උපුලි කරුණාරත්න යන මෙණෙවියෝ ගායනයෙන් සහාය වෙති. සුසිල් ප්‍රේමරත්න ප්‍රමුඛ සරසි වාද්‍ය වෘන්දය සංගීතය සපයයි. ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක රංජිත් ආරියදාස මහතා මෙහි නිවේදන කටයුතු සිදු කරයි.

ඌරගස්මංහන්දිය අයි. ජයරත්න


සිංහල ගීත කලාවට අලුත් ගීතයක්

ඉකුත් 14 වැනි දින උපන්දිනයක් නිමිත්තෙන් පැවති පින්කමකදී සිංහල ගීත කලාවට තවත් අලුත් ගීතයක් එකතු වුණා. ඒ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ ගුණරත්නයන්ගේ මෑණියන්ගේ උපන්දිනය නිමිත්තෙන් පූජ්‍ය තුම්බොවිල ධම්මරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පින්කමකදීයි. ඒ අවස්ථාවේදී පූජ්‍ය වත්තේවැව ධම්මානන්ද හිමිපාණන් අරුණ ගුණරත්නයන්ගේ මවට අපූරු තිළිණයක් ලබාදුන්නා.

උන්වහන්සේ විසින් දානමය පින්කම අවසානයේ එහි සිටි සියල්ලනට මේ ගීතය අසන්නට සැලසුවා. වත්තේවැවේ හිමියන්ගේ මුල්ම ගුරුතුමිය වූයේ අරුණ ගුණරත්නයන්ගේ මවයි. උන්වහන්සේ විශිෂ්ට ගීත රචකයකු වූයේ නමුදු මේ ගීය රචනා කොට තිබුණේ මේ ගුරුවරියගෙන් අකුරු කළ අතුල සේනානායකයි. වත්තේවැව හිමි මෙන්ම අතුල ද ගෝනුහද්දෙනාව විදුහලේ ආදි සිසුන්. වෘත්තියෙන් ගුරුවරයෙකු වන අතුල රචනා කරන ලද මුල්ම ගීතය ද මේ ගීතයයි. මෙම ගීතය සමඟ අතුල මෙන්ම රජරටින් අලුත් ගායිකාවක් ද දොරට වඩිනවා. ඇය තවම මඩුකන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දිමංගි තිමීෂා ඇල්ලේවෙල. ගීතය සංගීතවත් කර තිබුණේ රජරටින්ම බිහි වූ කරුණාරත්න විජේවර්ධන විසිනි.

සඳ­ගල පැන් පොකුණේ
පිපී සුවඳ දුන් සිය­පත නුඹ නොවෙදෝ
සිසිල අරන් පෑයූ පුන්සඳ නුඹ විය
සෙනෙහෙ දියෙන් සේදූ
තුරු­ලට ගෙන උණු­සුම කැටි­කොට
හිස අත ගා සිඹ සැනසූ
දෙවැනි බුදුන් විය සිප්හල තුළ බුදු වූ

දෑඟිලි අතරේ එල්ලී ගිය කාලේ
සිතුවිලි මැවුණා පෙර දා අප බාලේ
හිරු පිබිදී පිනි කැට විසි­රුණු වේලේ
මත­කයි ආවා ඔබ පසු­පස බාලේ
මත­කයි ආවා ඔබ පසු­පස බාලේ

කොස් ගස් සෙවණේ කව් ගී කී කාලේ
බිතු සිතු­වම් මෙන් ඇඳී සැලේ මනසේ
මෑණි­යනේ ඔබෙ කරුණා බර දෑසේ
සැඟවී ඉන්නට ආසයි පෙර උන් සේ

සඳ­ගල පැන් පොකුණේ
පිපී සුවඳ දුන් සිය­පත නුඹ නොවෙදෝ
සිසිල අරන් පෑයූ පුන්සඳ නුඹ විය
සෙනෙහෙ දියෙන් සේදූ
තුරු­ලට ගෙන උණු­සුම කැටි­කොට
හිස අත ගා සිඹ සැනසූ
දෙවැනි බුදුන් විය සිප්හල තුළ බුදු වූ

ගාය­නය – දිමාගී තිමීෂා ඇල්ලේ­වෙල
ගී පද රච­නය – අතුල සේනා­නා­යක
සංගී­තය – කරු­ණා­රත්න වි‌ජේව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT