ලෝක ළමා දිනය දා තම මිතුරකුගේ දහවන වසරේ ඉගෙනුම ලැබූ පාසල් පෙම්වතිය හමුවීමට ඇයගේ ගමට ගිය එකොළහ වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමෙන් එම සිසුවා පෙරේදා (01) මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, මඩවලඋල්පත, නාලන්දවත්තේ පදිංචි 17 හැවිරිදි කවුඩුපැළැල්ලේ කලෙයිමගල් විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නමැති පාසල් සිසුවා බව පොලිසිය පවසයි.
මරණයට පත් වූ පාසල් සිසුවාගේ මිතුරකුගේ පෙම්වතිය එම ප්‍රදේශයේ පාසලක දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය පදිංචි මඩවලඋල්පත, ආටිස්මලේවත්ත වෙත පෙරේදා සවස 5.30ට පමණ පෙම්වතියගේ මිතුරන් දෙදෙනෙකු සමඟ ගමන් කරමින් සිටියදී ගොඩවෙල බුදු මැදුර අසලදී කිසියම් පිරිසක් විසින් පෙම්වතාට හා ඔහු සමඟ ගමන් කළ මිතුරන් දෙදෙනාට ද පහර දී ඇති අතර පෙම්වතා හා අනෙක් මිතුරා දිව ගොස් තිබේ. ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගතකර ප්‍රතිකාර ලබන අතර පහරදීමෙන් බිම ඇද වැටී සිටි සිසුවා එම ප්‍රදේශයේම පිරිසක් විසින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත වාහනයකින් රැගෙනගොස් තිබේ.
එම පාසල් සිසුවා රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේදී බරපතළ ලෙස තුවාල ලබා ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වී ඇති අතර ප්‍රතිකාර සිදු කිරීමට පෙරම ඔහු මරණයට පත්ව ඇතැයි මාතලේ රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසල් සිසුවියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
මාතලේ මධ්‍යම සමූහ