Home » සුර වැද්දා තවමත් රජ ගමනේ

සුර වැද්දා තවමත් රජ ගමනේ

by sachintha
October 3, 2024 1:00 am 0 comment

කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ තෙමේ, රාජ්‍යය විචාරණ සමය වෙත අප ගමන් කරනුයේ, උපතක් පිළිබඳ කතාවක් ගෙන හැර දක්වනු වස්ය. මේ කාලයේ සුර නම් වූ වැද්දෙක් හිමාල ප්‍රදේශයේ සැරිසරනුයේ, දඩයම් අරමුණ ඇතිවය. ගුහා තුනක් ඇති තුමුල වෘක්ෂයක් දුටු වැදි මානවකයා, එහි පිරී ඇති තරලය ද දුටුවේය.

බැලූ බැල්මට වැසි දිය පිරි වළක් සේ දිස්වූ එය ගිරා, කොබෝ සැළලිහිණි ආදී පක්ෂීන්ගේ ගිම්හාන කාලයේ පිපාසාව නිවනා, පොකුණක් බඳු විය. වැසි වතුර වැටීමෙන් පසු අවට තුරුලියෙන් වැටෙන පල ආදිය මෙහි රැඳෙන්නේය. සකුණ රාශි ගෙනැත් දමන ඇල් හාල් ද මෙහි රැඳෙන්නේය. මේ සියල්ල දිය මල්ලේ රැඳී, හිරු රැසින් පැසී යන්නේය.

පිපාසිත වූ පක්ෂීහු ගස් පොකුණේ වූ ද්‍රාවණය පානයකොට මත් වූහ. මතෙන් බරිතව ගස පාමුලම වැටී යන්නාහ. සුර වැද්දා වෙත, මෙය මාංශ නිධානයක් සේය. ලොතරැයියක් ඇදුණා සේය. මහන්සි වී, මලපුඩු ආදිය ඇද නෙළා ගත යුතු දඩයම අවටම පණපිටින් සිහි මඳව සිටිනා හෙයින් හෙතෙම ඒ සියල්ල පංකාදු පහට සිය සන්තකයට ගන්නේය.

මුර්ජා වී වැටී සිටින තිත් වටුවන්, වළි කුකුළු, දිය කුකුළු ආදී පක්ෂීන් උයා පිහාගෙන බුදින අතරේ, දිනක් වැදි තෙමේ ද වෘක්ෂ දියෙන් පිපාසය සංසිඳවා ගත්තේය.

ගමේ ගොඩේ කසිප්පු පෙරෙන න්‍යාය එදා ස්වාභාවික ආකාරයෙන් ගස් බිලයේ සිදු වූ හෙයින් වැද්දා ද නොදැනුවත්ම, දෙකක් දාගෙන තිබුණි. තමන් මේ ආකාරයේ පානයක් මින් පෙර නොදක්නා ලද්දේ හෙයින්, වැද්දාට එය තනි පාවිච්චිය සඳහා සිත් නොදුන්නේය. මසක් හොඳින් බාබර්කියු තාලයට සාදාගත් ඔහු, ගස් බිලයේ ඇති තරලයෙන්, උණ නළයක් ද පුරවාගෙන, වරුණ නම් තාපසයා දක්නට යන්නේය.

සාජ්ජය සෙට් වෙන්නේ එසේය. එතැන් පටන් දෙදෙනා සිව් දෙනා ආදී බවට පත්ව, වැද්දා සහ තාපසයා යන සමාගම කසී රට වැස්සෝ සඳහා ගහේ බඩු වටේට බෙදීමේ, නොමිලේ සේවාවක් ආරම්භ කළේය. රජ තෙමේද දෙතුන් වාරයක් ද්‍රාවණය බී මත්ව, එහි ලොල් වැඩී ගියෙන්, නැවත නැවතත් හිමාලයෙන් බඩු ගෙන්වාගෙන, බීවාහ. කාලයාගේ ඇවෑමෙන් ගහේ න්‍යාය, ගමේ පටන් ගත් නුවර වැසියෝ, පෙරීම ගෘහ මට්ටමට ගෙන ගියෝය.

මේ සිද්ධිය විස්තර වන්නේ කුම්භ ජාතකයේය. සුර නම් වැද්දා, කාර්යයේදී ප්‍රමුඛ වූවේ බැවින්, සුරාව ලෙස ඒ සඳහා නම් තබන ලදි. ජාතක කතා පාලිය අනුව සුරාවේ උපත එසේය.

අද ලෝක අමද්‍යප දිනය බැවින් උපතේ සිට මෙහි ආදීනව පරික්ෂා කිරීමට මේ තීරුව අදහස් කළේය.

සමාජය වල් වැදී ඇති පදම සුරාවෙන් සහ මත්ද්‍රව්‍යයෙන් පමණක් වුවද මැන ගත හැකිය. බැලු බැලූ අත ඇත්තේ, ඒ දෙකය. ලෝක ළමා දිනය සමරනු වස් හය වසර සිසුවෙක් කසිප්පු බෝතලයක් රැගෙන ඒමේ සිද්ධියක් වාර්තා වූයේ තිස්සමහාරාම ප්‍රදේශයෙනි. තමන් භාගයක් රැගෙන එන බවත් බයිට් එක සඳහා අවශ්‍ය මුදල් රැගෙන එන ලෙස මිතුරන් වෙත දැනුම් දුන් මේ කොලු ගැටයා, නාස්තිකාර පදම පෙන්වන එක් උදාහරණයක් පමණය. සිගරට්ටුවේ සිට අරක්කු හරහා දැන් හසිෂ්, අයිස් දක්වා ව්‍යාප්තව වී ඇති මේ මත සඳහා, විවිධ මත තිබේ. සමහරු සිය පුරුද්ද සඳහා සාධාරණය ඉටු කර ගැනීමට, පොඩියට එකක් ගත්තාට කම් නැත යන ව්‍යඛ්‍යානය දියත් කරන්නේය. හිත හොඳ එකා සඳහා පර්යාය පදයක් ලෙස කන බොන එකා ලෙස බේබදුකම සඳහා ගරු නාම ලබා දෙන්නේය. රහ මෙරෙන් තොරව විනෝද, ශෝකය, තනිකම ආදිය විඳ ගැනීමට නොහැකි අනුවණ ජනයා, මේ ආකාරයට සමාජය ඉදිරියේ සිය අසරණභාවය වසා ගන්නේය. එසේ පමණක් නොව නොබොන්නා කොන් කිරීමේ ක්‍රියාදාමයක ද මේ පිරිස නිරත වන්නේය.

තමන් මේ කඩේ යන්නේ කොමිස් ආදිය නොමැතිව මහා පරිමාණයේ අරක්කු, සිගරට්, ආදී මත්ද්‍රව්‍ය ව්‍යාපාරයකට බව මේ පිරිස් වටහා නොගන්නේය. ලෝක ජනගහනයෙන් භාගෙට භාගයක් අමද්‍යපය. එසේ වුවද බේබදු සහ මතට ප්‍රිය ජන ප්‍රජාව සිතනුයේ තම කුලකය වැඩි බවත් එය මිනිසාගේ ස්වාභාවික වුවමනාවක් බවත්ය. මේ ආදී හේතු කාරණා නිසා රටේ දැන් රජ වී ඇත්තේ මත්වීමේ ව්‍යාපාරය ය.

මතේ මුල සිටම ඇත්තේ දූෂණය බව බාර් ලයිසන් ලබාදීමෙන් මැ දත හැක්කේය. ජනතාව වෙත අපරිමිත කරුණාවෙන් දේශපාලනය සඳහා පිවිසෙන මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් විගස ඉල්ලා සිටින්නේ බාර් ලයිසන් එකය. වෙනකක් තබා විපක්ෂයේ මන්ත්‍රීවරු රජයට අනුගත ආස්ථානයක තබාගැනීම සඳහා වූ මැජික් පොල්ලක් ලෙස ද බාර් ලයිසන් කොළය ක්‍රියා කරන්නේය.

මේ රටේ බාර් ලයිසන් සියල්ලම පාහේ යළි සලකා බැලිය යුතු බව මේ තීරුවේ අවධාරණය වන්නේය. අමද්‍යප ලෝකයක් සඳහා පදනම යනු ලබා ගැනීම දුෂ්කර බවට පත් කිරීමය. මේ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ඇත්තේය. බාර් ලයිසන් අවම ප්‍රමාණයක් ලබාදීම සහ හොරට පෙරීම නතර කිරීම පළමුව කළ යුත්තේය. සෑම පොලිසියක්ම පළාතේ කසිප්පු ජාවාරම ගැන දන්නේය. ඒවායේ අනුග්‍රහය ද ලබන්නේය. එසේ වුවත් ගමේ එකාලාගේ ධනය සහ අක්මාව විනාශ කරන එම ව්‍යාපාර ජයටම කෙරීගෙන යන්නේය. යුක්තිය ආදී මෙහෙයුම් මඟින් සිදු කළේ විජ්ජා බව මේ රටේ කසිප්පු සහ අනෙක් මත්ද්‍රව්‍ය තවම නිදහසේ මිලදී ගැනීමට තිබීමෙන් පෙනී යන්නේය. මේ නිසා අවනීතික සියලු මත්ද්‍රව්‍ය වහා තුරන් කිරීම ද එක් පියවරකි.

මේ ආදී කාරණා කිහිපයක් පහසුවෙන් ඉටු කළ හැකි හෙයින් හෙටින් උදාවන ලෝකය මතෙන් තොර සැපෙන් බර බවට පත් කර ගැනීම උදෙසා ජනී ජනයා ලෙස අප ද, වගකිවයුත්තා ලෙස ආණ්ඩුව ද යුහුසුළු විය යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT