Home » අරක්කු සමාගම් කෝටි 1800ක පොලු තියලා – හිඟ බදු නොගෙව්වොත් ලබන වසරට ලයිසන් නෑ

අරක්කු සමාගම් කෝටි 1800ක පොලු තියලා – හිඟ බදු නොගෙව්වොත් ලබන වසරට ලයිසන් නෑ

-සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි

by sachintha
October 3, 2024 1:01 am 0 comment

වසර 2023 – 2024 හිඟ බදු මුදල් මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන මත්පැන් නිෂ්පාදකයන්ට ලබන වසර (2025) සඳහා බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් කෝටි 1800ක (රුපියල් බිලියන 1.8) මුදලක් හිඟ බදු ලෙස අයවීමට ඇතැයි ද එම මුදල් නොගෙවන අයට බලපත්‍ර නොදීමට තීරණය කර ඇතැයි ද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ‘දිනමිණට’ ප්‍රකාශ කළේය.

සෑම වසරකම ආරම්භයේදීම සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක, එය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ, ඊට ඇති වන බාධා සහ ඒවා විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ මාස තුනෙන් තුනට මත්පැන් නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායක් පවතියි. ඒ අනුව මේ වසර සඳහා පැවැත්වෙන හතර වැනි සමාලෝචනය ඊයේ (02) කොළඹ, රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුවේදී පැවති අතර ඊට මෙරට මත්පැන් නිෂ්පාදන ආයතන විසිහතෙහිම නියෝජිතයන් පැමිණ සිටීම විශේෂත්වයක් බව ද ගුණසිරි මහතා කීය.

සුරාබදු ආදායම් එක්රැස් කිරීම සම්බන්ධයෙන් සහ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිදු ආකාරයක බලපෑමක් හෝ අතපෙවීමක් හෝ සිදු නොකිරීමට නව රජය කටයුතු කරන බවට සහතික වී ඇතැයි කී ජනරාල්වරයා, ඒ අනුව ඉතා නිවැරදිව සහ කාර්යක්ෂමව තම කාර්යයන් කරගෙන යෑමට තමා ඇතුළු සියලු නිලධාරීන්ට ඉඩකඩ හිමිව ඇතැයි ද පැවසීය. මත්පැන් නිෂ්පාදන සමාගම් සමඟ පැවති සමාලෝචන හමුවේදී ගනු ලැබූ තීරණ පැහැදිලි කළ ගුණසිරි මහතා රා සහ සකේ නිෂ්පාදන සඳහා ද නව ස්ටිකර් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් ඊට අමතරව සෙසු නිෂ්පාදන සඳහා ද එම වැඩපිළිවෙළ ලබන වසරේ සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් කීය.

ඒ අනුව දැනට නිෂ්පාදන සමාගම් සතු පැරණි ආරක්ෂිත ක්‍රම සහිත ස්ටිකර් සියල්ල දෙසැම්බර් 31 වැනිදාට පෙර නිෂ්පාදන බෝතල්වල ඇලවීමට හෝ ඉතිරි වන ප්‍රමාණය ඉතාම නිවැරදි සහ විනිවිදව පෙනෙන ආකාරයකට විනාශ කිරීමට ද තීරණය විය. කසිප්පු ඇතුළු හොර මත්පැන් නිෂ්පාදනය ඉහළ නැංවීම වැළැක්වීමට ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් දේශීය මත්පැන් නිෂ්පාදන අපනයනය සඳහා පවතින බාධාවන් සහ දුර්වලතා කඩිනමින් මඟහරවා එම කටයුතු වේගවත් කොට රටට ආදායම් ලබා ගැනීමට ද මෙහිදී තීරණ කළ බවත් ගුණසිරි මහතා පැවසීය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT