අනුරාධපුරයේ ප්‍රධානතම වාරි ජලාශයක් සේ සැලකෙන රාජාංගණය ජලාශයට යාබදව පිහිටි ගලේවාඩිය හෙවත් “ශාන්ත අන්තෝනි” ධීවර
ගම්මානය ගැටලු ගණනාවකින් පීඩාවට පත්ව ඇතැයි එහි ධීවරයෝ පවසති.
ශාන්ත අන්තෝනි ධීවර ගම්මානය රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 393 කලුන්දෑගම ග්‍රාම නිලධාරි වසමට අයත් වූවකි. ගම්මානය තුළ වසර පනහකට වැඩි කාලයක් තිස්සේ පදිංචි වී සිටියද මෙතෙක් සිය ඉඩම් සඳහා බලපත්‍ර හෝ ඔප්පු ලබා දීමට බලධාරීන් පියවර ගෙන නැතැයි ද මෙහි ධීවර ජනයා පෙන්වා දෙති. නිසි පානීය ජල පහසුකමක් නොමැති වීම, රැකියාවේ නියැළීම සඳහා නිසි උපකාරයක් නොලැබීම, ගම්මානයේ ප්‍රවේශ මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබීම, සිය නිවාස ඉදිකර ගැනීම සඳහා සහායක් නොලැබීම ආදී ආදී ගැටලු ගණනාවක් ශාන්ත අන්තෝනි ධීවර ගම්මානයේ ජන ජීවිත අර්බුදයට ලක්කොට ඇත. මිරිදිය මාළු සම්පතට සේම වැව් කරවල නිෂ්පාදනය කෙරෙහි ද ශාන්ත අන්තෝනි ගම්මානය ප්‍රකටව පවතියි.
මෙම ධීවර ගම්මානය ආරම්භ වූ දා පටන් මෙහි දිවි ගෙවන පළපුරුදු ධීවර කාර්මිකයකු වන 71 වියැති ෂෙල්ටන් පුනාන්දු මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“දැන් අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ අපි මේ ගමේ පදිංචි වෙලා ඉන්නේ. කාලෙකට සමහරු ඇවිල්ලා කියනවා අපි මේ ඉන්නේ වැව්
රක්ෂිතේ කියලා. අපි කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. කිසි කෙනෙක් මේ දේවල් නිරවුල් කරලා දෙන්නේ නෑ. කවුරු මොනවා කිව්වත්
මේ හදාගත්ත ගෙවල් දොරවල් දාලා අපි කොහෙද යන්නේ. අපිට යන්න කියන කවුරුවත් අපට ඉඩමක්, ගෙයක් දෙන්න කතා කරන්නේ නෑ.”
කලක් තිස්සේ මෙහි දිවි ගෙවන අනුලා එදිරිසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි ධීවර රස්සාව කරලා ජීවත් වුණාට අපිට කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නෑ. අපිව හැම තැනකදීම කොන් කරනවා. ධීවර රස්සාව නිකං නමට
කරන මිනිස්සුන්ට දැල්, ආම්පන්න, ඔරු දෙනකොට මේ රස්සාව කරලා දරු පැටව් ජීවත් කරන අපිව හැමෝටම අමතක වෙනවා. දහදුක් විඳලා
හම්බ කරන කීයෙන් හරි තමයි ඔරුවක්, දැලක් ගන්ඩ වෙලා තියෙන්නේ. පොඩ්ඩ බැරිවෙන කොට එහෙම දුක් විඳලා ගන්න දැල් හොරු කපාගෙන
යනවා. අපිට ආණ්ඩුවෙන් කියලා මේ වෙනකන් කිසිම දෙයක් ලැබිලා නෑ. පහුගිය කාලේ හැමතැනම හාල් බෙදුවා. එහෙම දෙයක්වත් අපිට
ලැබුණේ නෑ. අඩුම තරමේ රස්සාව කරගන්න දැල් ආම්පන්න ටිකක්වත් ලැබෙනවා නම් ලොකු දෙයක්.”
දිවියේ සැදෑ සමයට පිවිස සිටින රාණි තෙරේෂා මහත්මිය පැවසුයේ මෙවැනි කතාවකි.
“මගේ මහත්තයාට දැන් අවුරුදු හැත්තෑවට වැඩියි. එයාගේ වැඩිහිටි දීමනාව පහුගිය මාස තුනක් තිස්සේ දුන්නෙ නෑ. ග්‍රාම සේවක නෝනගෙන් ඇහුවහම කිව්වේ ඒක කපලා කියලා. තියෙන කරදර මදිවට ගමේ මිනිස්සුන්ට බොන්න වතුර ටික හොයා ගන්නත් පුදුම දුකක් විඳින්න වෙලා තියෙන්නේ. මේ ළඟටම පයිප්ප වතුර ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපට නෑ. අපි සල්ලි දීලා බොන්ඩ වතුර ටික ගන්නේ. ගමටම තිබ්බේ එක ළිඳයි. ඒකේ වතුරත් කිවුලයි කටේ තියන්න බෑ. හන්දියට ගිහිල්ලා සල්ලි දීලා වතුර අරන් එන්නේ. අතේ සල්ලි නැතිවුණහම වැවේ වතුර තමයි බොන්නේ.Ó
වසර ගණනාවක අත්දැකීමෙන් ධීවර රස්සාවේ වගඵල හොඳින් දත් ශාන්ත අන්තෝනි ධීවර ගම්මානයේ සුනිල් ගාමිණී මෙසේ අදහස් දැක්වීය.
“අපිට කුඹුරු ඉඩකඩම් නෑ. ජීවත් වෙන්න තියෙන එකම ආදායම් මාර්ගය මේ වැව. මේ රස්සාව කරගන්ඩ බැරිවුණොත් දරුවෝ බඩගින්නේ. වැවට
අපි ආදරෙයි. ඒත් අපිට කාගෙන්වත් කිසි උදව්වක් නෑ. සමහර කාලෙකට රුපියල් දෙතුන් දාහේ මාළු අහුවෙනවා. සමහර කාලෙකට රුපියල් සීයක
මාළු අල්ලගන්න බැරි දවස් තියෙනවා. පහුගිය දවස්වල සුළඟ වැඩි හින්දා මාළු අහු වුණේම නෑ. දැන් රස්සාව කරන්න දැලක් ඔරුවක් ගන්නත් ලක්ෂයකට වැඩිය ඕන. ඉතිං කොහොමද මේ රස්සාව කරන්නේ. කරදරයක් නැතිව අපට මේ රස්සාව කර ගන්ඩ මොනව හරි සහනයක් වෙනවා නම් ඒක ලොකු දෙයක්.”
තඹුත්තේගම විශේෂ
ඩබ්ලිව්. ප්‍රදීප්