මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇතැයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඉහත විමර්ශන කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මත එම පියවර ගත් බව ඇමැතිවරයා කියා සිටියේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මුක්තිය අවසන්ව ඇති බැවින් ඔහුට ද ඇතැම් විට නීතිය හමුවේ පිළිතුරු ලබාදීමට සිදුවනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් එහෙත් මැතිවරණ සමයේ ඒ සඳහා පියවර නොතබන බවත් ඇමැතිවරයා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
සමහර පොලිස් ස්ථානාධිපතිවරු දූෂිත චෝදනාවලට ලක් වුණ අය. ඒක ඇත්ත. නම් කරලා අපට එකපාරටම කියන්න බැහැ. තිබෙන චෝදනා විභාගයට ලක් කරලා නීත්‍යනුකූලව තමයි ඒ අය හඳුනාගත යුතු වෙන්නේ. කොහොම වුණත් මේ මැතිවරණ කාල සීමාවකදී එවැනි පොලිස් නිලධාරීන් පිළිබඳ තීන්දු ගන්න කාලයක් නෙවෙයි. නව රජය පත් වුණාට පස්සේ අදාළ විනය ක්‍රියාමාර්ග නීත්‍යනුකූලව ගන්න අපි සූදානම්. කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබුණා. විශේෂයෙන් පරීක්ෂණ කිහිපයක් තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය දැන් ආරම්භ කරලා තිබෙනවා. මහ බැංකු වංචාව පිළිබඳ පරීක්ෂණය. ඊට අදාළ මූලික පියවර අරගෙන තිබෙනවා. පොලිසිය මඟින් තීන්දු කිහිපයක්ම ගත්තා. හිටපු දේශපාලනඥයන් පොලිස් ආරක්ෂාව අරගෙන තිබෙනවා. නීත්‍යනුකූලව කිසිදු අයිතියක් නැහැ.
මන්ත්‍රී ධුරය තිබෙනකොට පොලිස් නිලධාරීන් දෙන්නකුගේ ආරක්ෂාව නිල වශයෙන් ලැබෙනවා. මන්ත්‍රී ධුරය නැති වුණාට පස්සේ ඒක ලැබෙන්නේ නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ මන්ත්‍රී ධුරයක්වත් නැති අයත් දේශපාලන හිතවත්කම් තිබුණු අයත් පොලිස් ආරක්ෂාව අරගෙන තිබුණා. ඒ පොලිස් නිලධාරීන් ඇත්තටම ආරක්ෂාව දෙනවටත් එහා ගිහින් ඒ ගෙවල්වල වැඩ කරන තත්ත්වයක් තිබුණා. එය වෙනස් කරන්න ඕනෑ. ඒ නිසා තමයි අපි ඒ නීත්‍යනුකූල නොවන ආකාරයේ ලබාදීපු ආරක්ෂකයන් වහාම කැඳවන්න. එක්දහස් එකසිය ගණනක් කැඳවලා තිබෙනවා. පාවිච්චි කරපු සමහර වාහනත් එහෙමයි. ඒවත් අපි නැවත භාරදෙන්න කියලා දැනුම් දුන්නා.
බොහෝ ප්‍රමාණයක් භාරදීලා තිබෙනවා. තැනක දෙකක පොලිස් නිලධාරීන් අනවශ්‍ය වැඩ කරපු තැන් තිබෙනවා. පොලිස් ඇමැතිවරයා කිව්වා කියලා ආරංචි යවලා සමහර තැන්වල ජනතාව පීඩාවට පත්වෙන ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. විශේෂයෙන් රත්නපුරේ මැණික් කර්මාන්තයේ යෙදෙන අයගේ. මම පෞද්ගලිකව එහෙම නියෝග ලබා දී නැහැ. නීත්‍යනුකූල දේ කරන්න මම පොලිසියට බාධා කරලත් නැහැ. නමුත් ප්‍රචාරයන් යවලා තිබෙනවා ඇමැතිවරයා තමයි නියෝග දුන්නේ කියලා.
ඒ අනුව තමයි ක්‍රියා කරන්නේ කියලා. සමහර අය ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නත් එවැනි දේ කරනවා. සියලු නිලධාරීන්ට කියනව එහෙම කරන්න ඕන නැහැ. දේශපාලන කුමන්ත්‍රණ හරහා ආණ්ඩුව අපහසුතාවට පත් කරන ඒවා සමහර තැනක දෙකක කෙරෙනව නම් ඒවා වහාම නතර කරන්න කියලා.
නුවන් කොඩිකාර