යතුරුපැදි අනතුරක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට ගිය පොලිස් සැරයන්වරයෙක් මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් (55175) එස්.එම්. ධර්මවර්ධන නමැති 49 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. ඔහු මොරගොල්ලාගම, නිකවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම නිලධාරියා උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකම සේවය කරන ලද පොලිස් සැරයන්වරයකු බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම නිලධාරියා ඉකුත් 30 දින ගල්ගමුව පොලිස් ස්ථානයේ සේවයට ගොස් සිටියදී ගල්ගමුව නගරයේ පල්ලිය අසල සිදුවූ යතුරුපැදි අනතුරක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට ගොස් තිබේ. ඒ වනවිටත් යතුරුපැදියේ ගමන් ගත් අය රෝහල්ගත කර ඇතත් අනතුරට පත් යතුරුපැදිය එම ස්ථානයේම තිබෙන නිසා එහි පරීක්ෂණ පවත්වා එම හානියට පත් යතුරුපැදිය මාවතේ සිට පාර අයිනට ඉවත් කිරීමට සැරසෙන අවස්ථාවේදී ගල්ගමුව සිට වාරියපොල දෙසට අපරික්ෂාකාරිව ධාවනය වූ යතුරුපැදියක් සැරයන්වරයා හප්පා ඇත.
ඒ සැනින් යතුරුපැදිය ද පෙරළී එම යතුරුපැදිකරු ද තුවාල ලබා ඇති අතර, දෙදෙනාම ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී බරපතළ තුවාල ලබා සිටි පොලිස් සැරයන්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (1) ජීවිතක්ෂයට පත්වී ඇත.
පොල්පිතිගම – නන්දන කැලේගම