Home » “දැඩිගම” නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවු සමාගමකට අතුරු තහනම් නියෝගයක්

“දැඩිගම” නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවු සමාගමකට අතුරු තහනම් නියෝගයක්

by chanaka
October 2, 2024 12:19 pm 0 comment

ජනතාව මුලා කරමින් “දැඩිගම” නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට “දැඩිගම” නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු මහතා නිකුත් කළේය.

දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීමට තමන්ට අයිතියක් ඇති බවට විත්තිය ඉර්දිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

දැඩිගම වෙළඳ ලකුණට සමාන නම් යොදා ගනිමින් අසාධාරණ තරඟයක නියැලීම තහනම් කරමින් මෙම අතුරු නියෝගය මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩි.ඒ.සි.පි. දැඩිගම උකස් පුද්ගලික සමාගමට එරෙහිව නිකුත් කෙරිණි.
දැඩිගම උකස් මධ්‍යස්ථානය(Dedigama pawning sentre)දැඩිගම රන් ණය මධ්‍යස්ථානය(Dedigama gold loan sentre)දැඩිගම උකස්කරුවෝ(Dedigama pawn Brokers) යන නාමයන්ට සමාන නාමයන් භාවිතා කිරීම ,දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීම,දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම නමින් නව වෙළඳසැල් ආරම්භ කිරීම තහනම් කරමින් මෙම අතුරු නියෝගය නිකුත් කෙරිණි.

දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම මහතා බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් විභාග කිරීමෙන් පසුව මෙම අතුරු තහනම නිකුත් කෙරිණි.

සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ජනතා විස්වාසය හා කීර්ති නාමය භාවිතා කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවය.විත්තිකරුවන් විසින් පැමිණිලිකරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළඳ ලකුණක් භාවිතා කරමින් එම වෙළඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩි.ඒ.සි.පි. අකුරු හතර යොදමින් අසාධාරණ තරගයක නිරත වන බවද පැවසීය. 1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාකා 281 ක් ස්ථාපිත කර ඇති බවත්,විත්තිකරු එම ජනප්‍රියතාවය ව්‍යාජ ව භාවිතා කරමින් සිටින බවත් පැවසීය.2023 අංක 36 දරණ බුද්ධිමේ දේපල පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්,එම පනතේ 121 වගන්තිය,160වගන්තිය යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවන සුළු ක්‍රියාවන් බවය.

එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළඳ කටයුතුවල නිරත වීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසී විත්තිකරුට නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

විත්තිකාර ඩි.ඒ.සි.පි උකස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා කරුණු ඉදිරිපත් කළේය.
විත්තිකාර සමාගම දැඩිගම යන නාමය වසර තිහක සිට භාවිතා කරන බවත්,විත්තිකරුවන්ගේ පෙළපත් නාමය දැඩිගම වන හෙයින් ඒ භාවිතා කිරීමේ නීතිමය අවකාශ ඇති බවත්,පැමිණිකාර සමාගමේ වෙළඳ ලකුණ කොන්දේසි සහිතව ලියාපදිංචි කර ඇති බවත් විත්තිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ කුවේරද ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.එය අනුව පැමිණිල්ලේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙසද විත්තිය වෙනුවෙන් ඉල්ලා සිටියේය.

අදාල විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති මහාධිකරණ විනිසුරු ප්‍රනාන්දු මහතා සිය තීන්දුව ලබාදෙමින් සඳහන් කර සිටියේ වසර තිහක් අදාල වෙළඳ නාමයේ භාවිතා කළේ යැයි විත්තිය කරුණු ඉදිරිපත් කළද ඊට අදාළ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.විත්තිකාර සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේ කරුණු පැමිණිල්ලේ කරුණු දැක්වීම මත බිඳී යන බවද පෙන්වා දී ඇත.විත්තිකරුවන්ගේ පෙළපත් නාමය වෙළඳ ව්‍යාපාරය හා යා කළ නොහැකි බවත් වෙළඳ ලකුණ කොන්දේසි සහිතව ලියාපදිංචි කිරීම යන හේතුව ඉවත දැමූ මහාධිකරණ විනිසුරුවරයා පහසුවේ සමබරතාවය යන නීති කොන්දේසිය අනුව වෙළඳ ලකුණේ හිමිකාරීත්වය පැමිණිලිකරුවන් සතු වන බවත් පෙන්වා දෙමින් විත්තිය විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මෙම තහනම නිකුත් කළේය.

පැමිණිකාර සමාගම වෙනුවෙන්සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥය මනෝජ් බණ්ඩාර මහතා සමග නීතිඥ චමත්කාද සිල්වා මෙනවිය , නීතිඥ ලක්ෂාණි මෙනවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

විත්තිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා සහ නීතිඥ අමා සඳමිණී මහත්මිය ඇතුළු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT