මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක්
පැවති පාලන තන්ත්‍රය පිළිබඳ ජනතාවගේ පැවති කලකිරීම නිසා පාලක පන්තිය ප්‍රතික්ෂේප වුණා
2024 ජනාධිපතිවරණය වනාහි ලංකා දේශපාලන ඉතිහාසය නවමු වෙනසකට හා නවමු සමාජ අර්ථකථනයකට පාර කැපීමට සමත් වූවකි. එය මැතිවරණයකින් පාලක පන්තියක් පත් කර ගැනීමෙන් ඔබ්බට ගිය ජාතික දේහය පුරා විසිරුණු පිබිදීමක් විය යුතු බව ජනතා අපේක්ෂාවයි. ජනතාව සෑහීමට පත්වන වෙනසක් කීරීම සඳහා අවතීර්ණ විය යුතු මාර්ගය සහ අභියෝග ජය ගැනීම පිළිබඳව රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ඉන්දි අකුරුගොඩ මහත්මිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියයි මේ.
2024 ජනාධිපතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඇතැමුන් විග්‍රහ කරනවා. මේ පිළිබඳව ඔබේ අර්ථකථනය කුමක්ද ?
2024 සැප්තැම්බර් 21 දා පැවති ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය මෙරට දේශපාලනයේ එක්තරා ආකාරයක වෙනස් මුහුණුවරක් ලෙස විග්‍රහ කිරීමේ කිසිදු වරදක් නෑ. එය වෙනසක් ලෙස හැඳින්විය හැකි කාරණා කිහිපයක්ම තිබෙනවා. ශ්‍රී ලාංකේය දේශපාලනය සහ මැතිවරණයකින් බලය හිමි කර ගැනීම කියන කාරණය කාලයක් තිස්සේ දෝලනය වුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක බල අරගලයක් විදිහටයි. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී තුන් වැනි බලවේගය ලෙස පැවති ජනතා විමුක්ති පෙරමුණින් බිහිවුණු ජාතික ජන බලවේගය නියෝජනය කළ අපේක්ෂකයා ජනාධිපති සටනින් ජය ගනු ලැබුවා. එය සැබෑම වෙනසක්. ඒ වගේම මෙම මැතිවරණයත් සමඟ දේශපාලන ඉතිහාසය තුළ පෙර නොවූ තවත් වෙනස්කම් ද සිදු වුණා.
ඒ මොනවාද ?
මෙතෙක් ජනතා ඡන්දයෙන් පත් වුණු සෑම ජනාධිපතිවරයෙකුටම 50% ඉක්මවූ ජන බලයක් හිමි වුණා. නමුත් මෙවර ජයග්‍රාහකයාට සියයට පනහක් ලැබුණේ නෑ. ජනතා කැමැත්ත 50% කට වැඩි ප්‍රමාණයක් අනෙකුත් අපේක්ෂකයන් අතර බෙදී ගොස් තිබෙනවා. ඇතැම් අය මෙය සුළුතරයක් නියෝජනය කරන ජනාධිපතිවරයෙක් ලෙස විග්‍රහ කරනවා. නමුත් ඔහුගේ පත්වීම නීත්‍යනුකූලයි. ඒ වගේම ව්‍යවස්ථානුකූලයි. ඒ වගේම අනෙක් වෙනස ලෙස අපි දකින්නේ අතිබහුතර බලයක් ලබා ගෙන ඉකුත් ජනාධිපතිවරණයේදි ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද පැහැදිලිවම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබීමයි. ඇත්තෙන්ම එය ජාතික ජන බලවේගය දියත් කළ ජන අරගලයේ පිළිබිඹුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙම වෙනස තුළින් පිළිබිඹු වන ජනතා ප්‍රතිචාරය ඔබ දකින්නේ කෙසේද ?
2022 ශ්‍රී ලංකා රාජ්‍ය බරපතළ ආර්ථික අර්බුදයක සිටින රටක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රට තුළ නිර්මාණය වුණු ගැටලුකාරි තත්ත්වය ජනතාවගේ දෛනික ජීවිතයට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස පැවති පාලන තත්ත්වය බරපතළ ලෙස ජනතා උදහසට ලක් වුණා. ඒ අතරවාරයේ දී ජනාධිපති අසුනේ වාඩි වුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය බර තුළනය කර ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමෙන් පසු ජන ජීවිතය යම් ආකාරයකට සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. නමුත් පැවැති පාලන තන්ත්‍රය පිළිබඳ ජනතාව තුළ පැවති කළකිරීම තුළ එම පාලක පන්තිය ප්‍රක්ෂේප කිරීමක් තමයි මෙම ජනමතය තුළින් පිළිබිඹු වන්නේ. එය වෙනත් ක්‍රමයකට විග්‍රහ කළොත් ජනතාව තමන්ගේ විරෝධයට ලබා දුන් පැහැදිලි උත්තරයක්.
ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. එය මේ අවස්ථාවේ විය යුත්තක්ව තිබුණාද ?
නව ජනාධිපතිවරයාගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුන්දෙනයි දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. මේ නිසා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිව පාලන තන්ත්‍රය ගෙන යාමේ පැහැදිලි ප්‍රායෝගික ගැටලුවක් මතු වෙනවා. මේ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කාලෝචිතයි. අස්ථාවර ආණ්ඩුවක් තුළින් රට ඉදිරියට යාමක් සිදු වන්නේ නෑ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ජනාධිපතිවරයාට ලැබුණොත් ශක්තිමත් පාලන තන්ත්‍රයක් නිතැතින්ම ගොඩනැඟෙනවා.
මැතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් ඡන්දය පාවිච්චි කර ඇත්තේ සියයට 70 – 75 වැනි ප්‍රමාණයක්. එමෙන්ම උතුරු නැඟෙනහිර ජනමතය ද අභියෝගයක පෙරනිමිත්තක් විය නොහැකිද ?
ඇත්තෙන්ම ඉදිරි මහා මැතිවරණයත් ලංකා ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයක් වනවාට කිසිදු සැකයක් නෑ. ජනාධිපතිවරයාගේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත හොත් එය දේශපාලන ඉතිහාසයේ පෙරළිකාරි සිදු වීමක්. ඒ වගේම බහුතර බලය හිමි නොවුණොත් එය ද මෙතෙක් ආ දේශපාලන රටාව ජනතාව නැවත වැලඳ ගැනීමට තීරණය කිරීමක් වෙනවා. මේ නිසා මැතිවරණ වේදිකාවල කුමක් කීවද ජනතා මතය උර ගා බලන තුරු ඒ පිළිබඳ අනාවැකි කීම උගහට කරුණක්.
ඔබ සඳහන් කරන්නේ රට ස්ථාවර හෝ අස්ථාවර වන්නේ ජනතා තීන්දුව මත කියන එක ද ?
ශ්‍රී ලාංකේය ජනතාවගේ දේශපාලන විඤ්ඤානය සහ සාක්ෂරතාව කියන්නේ දෙකක්. ඔවුන් පක්ෂවල මැතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් පිළිබඳව ගැඹුරින් හැදෑරීමක් කරනවාට වඩා ජනප්‍රිය මතයක එල්බෙන ස්වභාවයක් ද තිබෙනවා. එය පෙර පැවති සියලුම මැතිවරණයන්වලදී දේශපාලන විඤ්ඤාණයේ හැසිරීම තුළින් තහවුරු කළ කාරණයක්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව ස්ථාවර රජයක් බිහි කිරීම පිළිබඳ සංකල්පයට වඩා තමන් කැමති නියෝජිතයින් පත් කර ගැනීම සහ තම විරෝධාකල්ප ප්‍රදර්ශනය කිරීමට ඡන්දය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයාට ස්ථාවර රජයක් බිහි කර ගැනීමට නම් තමන්ට නොලැබුණු ඡන්ද පදනම ගැන කිසිසේත්ම නොසලකා හැර කටයුතු කරන්න බෑ.
වත්මන් ජනාධිපතිවරයා විසින් නතු කර ගත යුතු ඔහුට නොලැබුණු සහ මඟහැරුණු ඡන්ද පදනම පැහැදිලිව හඳුනා ගන්නේ කොහොමද ?
ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු මනාප ප්‍රමාණය එම පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන්ට ගිලිහී යන්නට තරම් ප්‍රවණතාවක් මතු වෙන්න ඉඩක් නෑ. එම ඡන්ද ප්‍රමාණය ඔවුන්ට පහසුවෙන් ලබා ගත හැකියි. නමුත් මෙරට ඡන්ද දායකයින්ගෙන් ජනාධිපතිවරණයේ දී ඡන්ද පාවිච්චි නොකළ සියයට 20 -25ක පමණ ප්‍රතිශතයක් තිබෙනවා. එම ප්‍රතිශතය සෑම පක්ෂයකටම තමන්ගේ බහුතරය හදාගැනීමේ සටනේ දී තීරණාත්මක බලපෑමක් කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාට නොලැබුණු උතුරු නැඟෙනහිර ඡන්ද පදනමේ හැසිරීමත් කිසිසේත්ම නොසළකා හරින්න බෑ. තමන්ට ස්ථාවර රජයක් හදා ගන්න නම් උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවට ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කළ යුතුමයි.
දේශපාලන පොරොන්දු සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම කියන්නේ කාරණා දෙකක්. ජනතාව ඉදිරි මැතිවරණයේදී සවිඤ්ඤාණික විය යුත්තේ කොහොමද?
ජනප්‍රිය මතවාද, ආකර්ෂණීය විවේචන සහ සහනවලට ශ්‍රී ලාංකේය ජනතාව සිය මනාපය සටහන් කිරීමේදී වැඩි බරක් දෙන බවක් පෙනෙනවා. කුමන පක්ෂයට කුමන අපේක්ෂකයාට ඡන්දය දුන්නත් ඔවුන් කේවල් කරන්නේ මේ කාරණායි. නමුත් වඩාත් වැදගත් වන්නේ ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තියි. දේශපාලන පොරොන්දු යාථාර්ථයක් බවට පත් වන්නේ පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු එය නීතියක් බවට පත් වූ පසුවයි. ඒ වගේම පොරොන්දු ඉටු නොකර විශ්වාසය පලුදු කර ගතහොත් ජනතාවගේ නැඟී සිටීම ඉදිරියේදීත් අපිට ප්‍රදර්ශනය වේවි. ඉකුත් ජන අරගලයේ දී ජනතාව විසින් පලවා හරිනු ලැබුයේ හැට නව ලක්ෂයක ඡන්ද දායකයින්ගේ කර මතින් පැමිණි පාලකයෙක්. එය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජයීය කාරණාවලදී නැවත නැවතත් ගළපා ගැනීමට ජනතාව පසුබට නොවනු ඇති. මේ නිසා ඉටු නොකළ හැකි දේශපාලන පොරොන්දු ඉතාමත් අවදානම්.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ රට ගොඩගැනීම කියන කාරණය එකිනෙකට ගැටෙන පැති දෙකක් නොවේද ?
මීට පෙර ඉතිහාසයේ පැවති මැතිවරණ සහ පොරොන්දු අතර පැවති සහ සම්බන්ධය අපිට එතරම් තීරණාත්මක ලෙස ගැළපීමක් අවශ්‍ය වුණේ නෑ. පාලන බලය තහවුරු කර ගැනීම සඳහා රිසි සේ ඡන්ද පොරොන්දු ලබා දුන් දේශපාලන සංස්කෘතියක් එවකට තිබුණා. නමුත් ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන බලකඳවුරු තුනටම එවැනි පොරොන්දු දීමට තරම් නිදහසක් නෑ. මක්නිසාද යත් රට හමුවේ ණය බරක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ඇතුළු සංවිධානවල කොන්දේසිවලට අනුගත ඔවුන් පෙන්වා දෙන මාර්ගයකින් පිට පැන ස්වාධීන මාර්ගයක් තෝරා ගැනීමේ පූර්ණ හැකියාවක් තවම නෑ. මේ කාරණය තදින්ම සිහි තබා ගත යුතුයි.
ජනතාව පාලකයන්ගෙන් අපේක්ෂා කරන්නේ උපරිම සහන මල්ලක්. නමුත් පාලකයන් විසින් අපි සතු වත්කම ගැන සිතිය යුතු බවද ඔබ කියන්නේ ?
ඇත්තෙන්ම ඔව්. කවුරු හරි කියනවා නම් බදු සහනත් දීලා සහනාධාරත් දෙනවා කියලා එය මේ මොහොතේ කිසි සේත්ම කළ හැකි දෙයක් නෙමෙයි. ජනතාවට මෙවැනි ඉටු කළ නොහැකි පොරොන්දුවක් ලබා දී කෙසේ හෝ බලය තහවුරු කර ගත්තත් එහි ප්‍රතිවිපාකය බරපතළයි. ඇත්තෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින්නේ පිහි තුඩක් මත කියන කාරණය නම් නොසලකා නොහැරිය යුතුමයි. ආර්ථිකය ගොඩ දමා ගත යුත්තේ ඉතාමත් සූක්ෂ්මවයි. ඒ සඳහා ජනාධිපතිවරයා සහ පත්වන අභිනව පාර්ලිමේන්තුව ඉතාමත් බුද්ධිගෝචරව විශේෂඥ සහාය ඇතිව හැසිරවිය යුතු කාරණයක්. ජනතාවගේ වගකීම වන්නේ කුමන පක්ෂයකින් සහන පොරොන්දු ගැන සිහින මවා පෙන්වුවත් බුද්ධිමත්ව යථාර්ථය වටහා ගැනීමයි. ජනතා නියෝජිතයින්ගේ වගවීම නම් ඉටු කළ නොහැකි පොරොන්දු නොදීමයි.
පැවති ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම කාරණයක් වුණේ දූෂණ වංචා මුලිනුපුටා දමමින් රාජ්‍ය ධනය කොල්ල කෑ අයට නිසි දඬුවම් දෙන බවටයි. ඒ සඳහා ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබෙනවා ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉකුත් සමය තුළ පනත් 94ක් පමණ ඔය කාරණය පදනම් කරගෙන ගෙනැත් තිබෙනවා. ඒවා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. වැදගත්ම කාරණය එය නොවෙයි. ඒ නිසා ව්‍යවස්ථාවේ කිසිදු ඌනපූරණ නෑ. පැවති රජය සම්මත කරගත් ආර්ථික පරිවර්තන පනත ගැනත් යමක් කිව යුතුයි. ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේ දී පත්වන ආණ්ඩුවලින් වෙනස් නොකළ යුතු බවට සම්මත කර ගත් එම පනත කෙරෙහිත් ඉදිරියේදී පත්වන ආණ්ඩුව සලකා බැලිය යුතු වෙනවා.
රජය විසින් ක්‍රියාත්මක කරන විදෙස් පිළිවෙතෙහි හැඩය කෙසේ විය යුතුද ?
චීනය ඉන්දියාව සහ අමෙරිකාව යන රටවල් සමඟ හිටපු ජනාධිපතිවරුන් විවිධ මට්ටමින් ගනුදෙනු කළා. නමුත් ඔවුන් ලෝක බලවතුන් වීමේ හීනයට අපි තුරුම්පුවක් කර ගැනීමට උත්සාහ දරන්නේ නම් අපි ඉතා ප්‍රවේශමින් එම මිත්‍රත්වය පවත්වා ගත යුතුයි. පාකිස්තානය වැනි රටවලට අද පත්ව ඇති ඉරණම අපිට දකින්ට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් ප්‍රතිපත්තිය යම් ආකාරයකට මධ්‍යස්ථ ස්වරූපයක් අපි දැක්කා. යුරෝපා රටවල්, ජපානය අපිට යම් යම් සහායන් දුන්නා.
වත්මන් දේශපාලන පරිවර්තනය රටේ සුබසිද්ධිය උදෙසා ගළපා ගත යුතු සාරගර්භ වැඩපිළිවෙළ කෙසේ විය යුතුද ?
රට තුළ විශාල පරිවර්තනයක් කිරීමේ ජනප්‍රිය තීරණවලින් ඔබ්බට ගොස් ක්‍රමිකව ගලා ගෙන යන සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් තමයි මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ. විප්ලවීය වෙනස්කම් කිරීමට තරම් ආර්ථික ස්ථාවරයක් රට තුළ නොමැති නිසා අපනයන ආර්ථික සිද්ධාන්තය තුළින් රටට හිතැති ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ඇතිව ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම අපි පළමුව කළ යුතුයි. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් නැතිව ජාත්‍යන්තරය තුළ අපිට පවතින්න බෑ. එමෙන්ම ජනතා අපේක්ෂා සහ අද ජනතාව සිටින ඩිජිටල් තාක්ෂණ යුගය අමතක නොකළ යුතුයි. ඒ වගේම තරුණ පරම්පරාවේ අභිලාෂයන්ට සමපාත වන වෙනසක් කරා රට ගෙන යා යුතුයි. ඔවුන් අපේක්ෂා කරන්නේ විප්ලවයක් නොවෙයි. ස්මාර්ට් යුගයක්.
සකුන්තලා ජයසිංහ