පෝලියෝ, පිටගැස්ම, මැලේරියාව, බරවා, සරම්ප, රෝග මෙරටින් තුරන් කළා සේම ජලභීතිකාවත් ඉක්මනින් මෙරටින් තුරන් කරන බව රත්නපුරදී පැවැති ලෝක ජලභීතිකා දින ජාතික සැමරුම් උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
සෞඛ්‍ය ලේකම්වරයා මෙසේ පැවසුවේ ලෝක ජලභීතිකා දිනය වෙනුවෙන් මෙරට පැවැති ජාතික සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයට එක් වෙමිනි. මෙම ජාතික උත්සවය ඉකුත්දා (28) රත්නපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. විවිධ වසරවල කාලීන මාතෘකා යටතේ මෙම දිනය සමරනු ලබන අතර, 2024 වර්ෂයේ තේමාව වනුයේ “සම්මතයන් බිඳලමු – ජලභීතිකාව දුරලමු” යන්නයි. ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය, රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සහ රත්නපුර නගර සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර, මෙම සැමරුම් උත්සවයෙන් අනතුරුව සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස රත්නපුර නගරය වටා පා ගමනක් සිදු කර ජනතාව දැනුම්වත් කිරීමට ද පියවර ගැනිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
Òසෑම වසරකම සැප්තැම්බර් මස 28 ලෝක ජලභීතිකා දිනය ලෙස නම් කර තිබෙන අතර, ජලභීතිකා එන්නත්කරණය නිසා වසරකට මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබෙනවා. පළමුවන ජලභීතිකා මර්දන එන්නත නිෂ්පාදනය කළේ සර් එඩ්වඩ් ජෙනර් කියන වෛද්‍යවරයා 1796 වසරේදී. ඊට අවුරුදු 98කට පසු ලුවී පාස්චර් කියන විද්‍යාඥයා තමයි දෙවැනි එන්නත සොයා ගත්තේ. ඒ දෙවැනි එන්නත ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා ලෝකය පුරා භාවිත කරනවා. ලුවී පාස්චර් මහතාගේ ජන්ම දිනය සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති නිසා තමයි ලෝක පූජිත සොයා ගැනීම වෙනුවෙන් එතුමාට කරන ගෞරවයක් ලෙස ලෝක ජලභීතිකා මර්දන දිනය සැප්තැම්බර් 28 දිනට නම් කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 300,000ත් 350,000ත් අතර සංඛ්‍යාවක් සුනඛ සපාකෑමෙන් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වන අතර, ජලභීතීකා මර්දන හා ප්‍රතිකාර කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව රුපියල් මිලියන 450කට අධික මුදලක් වැය කරනවා. 1970 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා මරණ 377ක් වාර්තා වුණා. නමුත් මේ වර්ෂයේදී වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 16ක් පමණයි.
අද වන විට ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝකයේ බොහෝ රටවල හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධානවල ප්‍රසාදයට පත්ව තිබෙනවා.දකුණු ආසියානු කලාපය තුළ හොඳම සෞඛ්‍ය සේවාව තිබෙන රට විදිහට ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. මෑතකදී විශේෂ වාර්තාවක් එංගලන්තයේ බුද්ධි මණ්ඩලයක් මඟින් ප්‍රකාශයට පත් කළා. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 200ක් අතරින් අපේ රට 47 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. අමෙරිකාවත් ඉන්නේ අපට පහළින් 67 වැනි ස්ථානයේ. දියුණු රටක් ලබා දෙන සෞඛ්‍ය සේවාව අපේ රටෙත් තිබෙන බව ලෝකය පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නම් මෙරට වෙසෙන සුනඛයන්ගෙන් සියයට 80කට ජලභීතිකා රෝගයට එරෙහි එන්නත් දීම කළ යුතුයි. ඒ සඳහා සියලු සුනඛයන්ට සති 4-6 අතරේත්, නැවත මාස 3දීත් හා ඉන්පසු වසරක් පාසාත් එන්නත් දිය යුතුයි. ජලභීතිකාව මිනිසාට මෙන්ම සතුන්ට ද බෝවන වෛරස් රෝගයක්. වෛරසය ආසාදිත සතකුගේ ඛේටය මඟින් පිටවන වෛරසය තවත් පුද්ගලයකුට ශරීරගත වීමෙන් රෝගය ආසාදනය වෙනවා. සපාකෑම්, සීරීම්, කැඩුණු සම මත හෝ ශ්ලේෂ්මල පටල මත ඛේටය තැවරීමෙන වෛරසය ආසාදනය විය හැකියි.Ó
මෙම සැමරුම් උත්සවය අතරතුර සුනඛයන් හා පූසන් එන්නත් කිරීම හා වන්ධ්‍යාකරණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබිණි. මෙම පාගමනට හා සැමරුම් උත්සවයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනුජ රොද්‍රිගෝ, ජලභීතීකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දර්ශනී දිසානායක යන මහත්ම මහත්මීන් ද දිවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
කුරුවිට – කේ.ඒ. සුනිල්