ඵෙතිහාසික රංගිරි දඹුල්ල ලෙන් විහාරය නැරඹීම සඳහා දිනපතා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන අතර, ඔවුන්ට නව මාර්ගය ඔස්සේ පැමිණීමට මේ වන විට සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය විසින් කටයුතු යොදනු ලැබ ඇතත් එම සංචාරකයන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම්වත් මෙතෙක් ලබා දීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන නොමැති බව සංචාරකයෝ පවසති.
මීට පෙර සංචාරකයන් මෙන්ම බැතිමතුන් ද ඒ 6 මාර්ගය ඔස්සේ පැමිණ දඹුල්ල ලෙන් විහාරයට පහසුවෙන් පිවිසුණු නමුත් නව පාලන අධිකාරිය විසින් පැරණි පිවිසුම් මාර්ගය වෙනුවට ඒ 9 මාර්ගය ඔස්සේ පැමිණ උසාවි මංසන්ධිය අසලින් වැටී ඇති පිරිවෙන් මාර්ගය හරහා යෑමට හැකි වන ලෙස මෙම නව මාර්ගය ඉදිකරනු ලැබීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. එමෙන්ම මෙම නව මාර්ගය ඔස්සේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් ගෙවා මෙම ස්ථානය වෙත යෑමට සිදු වීමෙන් ද සංචාරක පිරිස දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. කෙසේ වෙතත් මෙසේ පැමිණෙන සංචාරකයන්ට කිසිඳු යටිතල පහසුකමක් මෙහි නොමැති වීමෙන් සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ඉතා අපවිත්‍ර ස්ථාන වෙත යෑමට සිදුවීමෙන් මෙම සංචාරකයන් මහත් කලකිරීමකට පත්ව සිටියි. මෙම සංචාරකයන්ගෙන් විශාල ආදායමක් දෛනිකව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල ව්‍යාපෘතියට ලැබෙන බැවින් මෙම යටිතල පහසුකම් පහසුවෙන් මෙම ස්ථානයට ලබා දිය හැකි බව මෙම ව්‍යාපෘතියේ ඇතැම් සේවකයෝ ද පවසති.
තවද මෙම සංචාරකයන්ට සිය විඩාව නිවා ගැනීම සඳහා සුදුසු පරිසරයක් ද මෙහි නිර්මාණය කර නොමැති බැවින් අනාරක්ෂිත ස්ථාන වෙත ගිමන් නිවා ගැනීමට මොවුන්ට යෑමට සිදුවේ. තත්ත්වය මෙසේ බැවින් ඵෙතිහාසික රංගිරි දඹුල්ල ලෙන් විහාරය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට මෙන්ම මෙම ස්ථානය වැඳපුදා ගැනීමට නිරන්තරයෙන් පැමිණෙන පිරිස වෙනුවෙන් අවම යටිතල පහසුකම් හෝ ලබා දීම මෙහි කළමනාකාරීත්වයේ වගකීම බව සියල්ලගේ මතය වී ඇත.
මාතලේ දිස්ත්‍රික් සමූහ – ඒ.ඒ.එල්. ඩයස්