පිහිඹියගොල්ලෑව පීනගමදී සාහසික ලෙස ඝාතනය කරන ලද විශ්‍රාමික යුද හමුදා නිලධාරියකුගේ මරණය සම්බන්ධයෙන් පිහිඹියගොල්ලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් ඉමේෂා මධුභානී ධර්මදාස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පිහිඹියගොල්ලෑව පොලිස්වසමේ පීනගම ගම්මානයේ අතහැරදමා තිබූ වැසිකිළි වළක තිබී සාහසික ලෙස ඝාතනය කරන ලද විශ්‍රාමික යුද හමුදා නිලධාරියකුගේ මළසිරුරක් පසුගිය 27 දා පිහිඹියගොල්ලෑව පොලීසියට හමු විය. මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ පීනගම කෑඳෑව ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. කරුණාසේන නමැති 54 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියකු වන තිදරු පියෙකි. සිද්ධිය වන විට මියගිය පුද්ගලයාගේ බිරිය සහ දෙවැනි දරුවා තම වැඩිමහල් පුතුගේ කැකිරාව ප්‍රදේශයේ නිවෙසට ගොස් සිට ඇති අතර, මියගිය තැනැත්තා පසුගිය දින කිහිපයේ නිවෙසේ වාසය කර ඇත්තේ තනිවමය. පසුගිය 25 දා රාත්‍රියේ සිට මේ පුද්ගලයාගේ දුරකතනය ක්‍රියා විරහිත වීමත් සමඟ මොහුගේ වැඩිමහල් පුතු පියාගේ නිවෙසට පැමිණ තම පියා පිළිබඳ සොයා ඇත. එහිදී කිසිදු තොරතුරක් දක්නට නොලැබීම නිසා මොහු අත්හැර දමා තිබූ යාබද නිවෙස අවට පරීක්ෂා කර බලා ඇති අතර, එහි වැසිකිළි වළ දෙසින් ආ දුගඳක් හේතුවෙන් එය පරික්ෂා කර බැලීමේදී තම පියා එතුළ ගැටගසාදමා තිබෙනු දැක පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානය දැනුවත් කර තිබේ. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂණවලින් අනතුරුව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස මහේස්ත්‍රාත්වරිය ඉදිරිපිටදී වැසිකිළි වළේ තිබූ මළ සිරුර ගොඩගන්නා ලදි. මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පීනගම ගම්මානයේම 52 හැවිරිදි පුද්ගලයකු පිහිඹියගොල්ලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා විසින් මේ ඝාතනය සිදු කර සිරුර රැගෙනැවිත් වැසිකිළිවළට දැමූ බවට පාපෝච්ඡාරණයක් කළ බව පිහිඹියගොල්ලෑව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) සංජීව ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරගෙන යනු ලැබේ.
මේ අතර මියගිය විශ්‍රාමික යුද හමුදා නිලධාරියාගේ මළසිරුර ආගමික වතාවත් සිදු කර භූමිදානය කිරීමට රැගෙන යන අතරතුර එය ප්‍රධාන මාර්ගයේ තබා ඝාතකයන් කඩිනමින් නීතියේ රැහැනට හසු කරගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලා විරෝධතාවක නිරත වීමට පීනගම ගම්වාසීහු පෙරේදා (29) කටයුතු කළහ. පන්සියයකට ආසන්න ගම්වාසීන් පිරිසක් මේ සඳහා සහභාගි වී සිටි අතර, මිනීමරුවන් නිදැල්ලේ, මිනීමරුවන් අපට එපා යන සටන්පාඨ කියමින් ඔවුහු එහිදී සාමකාමි විරෝධතාවක නිරත වූහ.
කැබිතිගොල්ලෑව සමූහ එස්.ජී. උබේපාල