Tuesday, April 22, 2025
Home » දරු පවුලක් නූලෙන් බේරා මහවැස්සේ තණමල්විල ගෙයක් පොළොවට සමතලා වේ

දරු පවුලක් නූලෙන් බේරා මහවැස්සේ තණමල්විල ගෙයක් පොළොවට සමතලා වේ

by sachintha
October 1, 2024 1:56 am 0 comment

වියළි කාලගුණය නිමා කරමින් තණමල්විල ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව බොහෝ දෙනකුට ආශීර්වාදයක් වූ නමුත් තණමල්විල ගාමිණීපුර පදිංචි 43 හැවිරිදි අජිත් කුමාර ඇතුළු දරු පවුලකට එම වැස්ස මහා දුක් කන්දරාවක් එක් කරන දිනයක් විය. මහ වැස්සත් සමඟ ඔවුන් පදිංචිව සිටි නිවෙස එක්වරම බිමට සමතලා වී ගියේ ජීවිත හතරක් අනූනවයෙන් බේරෙමිනි. මේ පුවත අපට පෙරේදා (29) අපට වාර්තා වූයේ තණමල්විල ගාමිණීපුර ප්‍රදේශයෙනි.

තමන් ඇතුළු දරු පවුලට අත් වූ ඉරණම පිළිබඳ ජී.පී.එස්. අජිත් කුමාර මහතා අපට මෙලෙස පැවසීය:

“වැහිබීරම තිබුණ නිසා මමත් බිරියත් දරු දෙන්නත් ගෙදරට වෙලා හිටියා. ටික වෙලාවක් යනකොට එක සැරේම වහින්න ගත්තා. වැඩි වේලාවක් ගියේ නෑ ඒ වැස්ස මහා ධාරාණිපාත වර්ෂාවක් බවට පත් වුණා. තිබුණු වියළි කාලගුණයත් නිමා කරමින් වැස්ස ආ නිසා මමත් හිතුවා මොනවා හරි භෝග ටිකක් ඉන්දගන්නත් පුළුවන්නේ කියලා. එහෙම වැස්ස දිහා බලාගෙන මමත් බිරියත් කල්පනා කරමින් ඉන්න කොට දුව එක සැරේම කෑගහලා කිවුවා තාත්තේ ගේ හෙලවෙනවා වගේ දැනෙනවා කියලා. මමත් හිටපු තැනින් නැඟිටලා බලද්දි මටත් මහා අමුත්තක් දැනුණා. වහලත් එක්ක ගේ ටිකක් පැද්දෙනවා වගේ මට තේරුණා. මහ වැස්සෙම මම දරු දෙන්නත් බිරියත් අරන් ඉක්මනින්ම ගෙයින් එළියට පැන්නා විතරයි දන්නේ. ඒ නිමේෂයකින් මුළු ගේම කඩාගෙන බිමට වැටුණා. තව එක විනාඩියක් පරක්කු වුණා නම් අපි හතර දෙනාම ඉවරයි. වාසනාවට අපි බේරුණා. අවුරුදු ගානක් කුලී කරලා හම්බ කරගත්ත මුදල් වියදම් කරලා තමයි මේ ගේ මේ තරමට හදා ගත්තේ. අයේ මට ගෙයක් හදාගන්නවා කියන එක හීනයක් විතරයි. මට තියෙන දුක මේ ළමයි දෙන්නගේ ස්කෝලේ ඇඳුම් පොත්පත් ඔක්කොම විනාශ වුණා. ආයේ මම කොහොමද මේවා මේ දරුවන්ට අරන් දෙන්නේ කියන එකට…”

මහ වැස්සත් සමග නිවෙස කඩාවැටීම නිසා නිවෙසේ තිබූ සියලු දේපළ විනාශ වී තිබූ අතර අජිත් ඇතුළු පවුලේ අයට පිළිසරණක් වී ඇත්තේ දැනට ඔවුන්ගේ නිවෙසට මඳක් දුරින් පිහිටි මහ ගෙදරය. මේ වන විට දරුවන්ගේ පාසල් ගමනටද බාධා එල්ල වී ඇත්තේ පොත්පත් ඇඳුම් ඇතුළු සියලු දේ විනාශ වී ඇති නිසාය. එදිනෙදා කීයක් හෝ හොයාගන්නා අජිත් කුමාරට මේ සඳහා එකවර මුදල වියදම් කිරීමට හීනයක්ම පමණක් වී තිබේ. සිද්ධිය පිළිබඳ තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාද පැමිණි සොයා බලා තිබේ. මේ දරු පවුල වෙනුවෙන් පිහිටක් විය හැකි නම් එය මහත් පින්කමකි.

සූරියවැව විශේෂ

නුවන් ජයසේකර‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT