Home » දිවි ම‍ෙඟ් සිය වැනි වියට එළඹි හොරණ ලොකුවිතාන ඉස්කෝලෙ හාමිනේ

දිවි ම‍ෙඟ් සිය වැනි වියට එළඹි හොරණ ලොකුවිතාන ඉස්කෝලෙ හාමිනේ

by sachintha
October 1, 2024 1:49 am 0 comment

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනයද සමරන අද (1) වන විට සිය දිවියේ සිය වැනි ජන්මදිනය ඊයේ (30) සැමරූ මවක පිළිබඳ තොරතුරු අපට නාවලින් අපට වාර්තා විය.

හොරණ, රාජකීය මාවතේ පදිංචිව සිටින ‘ලොකුවිතාන ඉස්කෝලෙ හාමිනේ’ නම් වන ඇය මේ වන විට නාවල ප්‍රදේශයේ තම වැඩිමහල් පුතුගේ නිවෙසේ ජීවිතය ගත කරන්නීය.

දශක ගණනාවක ගුරු සේවයේදී දරුවන් සිය දහස් ගණනකට නිසි මඟ කියා දුන් මේ ගුරු මාතාව මෙලොව එළිය දැක ඇත්තේ 1924 සැප්තැම්බර් 30 දින බණ්ඩාරගමදීය. පාසල් අධ්‍යාපනයෙන් පසු උතුම් ගුරු දිවියට පිවිස, නිසි කල වයස එළඹි කල්හි ඇයට සිකුරු තරුවේ ප්‍රභාවය වැටුණේ කාටත් හොරාය. ඇයගේ හදවත සොරාගත්තේ පීඩිත පන්තියේ විමුක්තිය සෙවූ ‘වැලිකල කවියා’ නමින් රටක් දන්නා බේලින් ලොකුවිතාන මුල් ගුරුතුමාය. එකල ඔහු ඇයට පෙම් හසුන් ලිවුවේද කවියෙන්මය. විවාහයෙන් පසු මේ දෙපළට දරුවන් අට දෙනකු ලැබුණු අතර චන්ද්‍රා, ශාන්ත, පද්මා, කමල්, සුජීවා, රෝහිණී, වසන්තා සහ යසන්තා ලොකු විතාන ඒ අය වෙති.

විදුහල්පතිවරයකු වූ සිය සැමියා යන යන පාසල්වලටම ලොකු විතාන ඉස්කෝලේ හාමිනේද සිය දරුවන් රැගෙන ස්ථාන මාරු ලබමින් ගියාය. මෙලෙස 1951දී මින්නේරිය රොටවැව මිශ්‍ර පාඨශාලාවට පියනඟන ඇය වැව්බැඳිරටේ අහිංසක ගොවි දූපුතුන්ට ශිල්ප දායාද කළේ මහත් සොම්නසිනි. එයින් පසුව 1957 අවුරුද්දේ නිවිතිගල තුත්තිරිපිටිය මිශ්‍ර පාඨශාලාව, අනතුරුව පාහියන්ගල යටගම්පිටිය පාසල ආදි විදුහල් ගණනාවකම ඇය සේවය කළාය. මෙරට ඇති වූ ජාතික පුනරුද ව්‍යාපාරයට සඟ, වෙද, ගුරු,ගොවි‍, කම්කරු පංච මහා බලවේගය සක්‍රීයව දායක වන විට සිය ස්වාමියාට ශක්තියක් වූයේ පසුපසින් සිටි බිරිය ලොකුවිතාන ඉස්කෝලේ හාමිනේය.

නිදහස් රටක නිදහස් මිනිසුන් නිදහසේ ජීවත් විය යුතු බව ඇදහූ ඇය තම සැමියාගේ ගමන් මඟට ශක්තියක් වූයේ දූදරුවන්ගේ බර කරට ගනිමිනි.

කෙසේ වෙතත් ඒ දරු බර ඇයට සදහටම කරට ගන්න සිදු වූයේ ඇයගේ ස්වාමියා අවුරුදු පනස් හයක් වැනි අඩු වයසකින් 1972 අවුරුද්දේ මෙලොව හැරයෑම හේතුවෙනි. එතැන් පටන් දරුවන් අට දෙනකුගේ වගකීම් උර මත දරාගනිමින් රැකියාවේද නියුතු වීමට ඇයට සිදු විය. සැමියාගේ වියෝවෙන් අවුරුදු හතළිස් හතරකට පසු ඇයට තම පුතකු වූ කමල්ගේ මරණයද දකින්න සිදු විය.

කෙසේ වෙතත් තුන් මුනුපුරන් දකින්න තරම් වාසනාවන්ත වූ ඇය තවමත් හොඳින් පොත් පත්තර කියවමින්, රූපවාහිනී ගුවන්විදුලි ධර්ම දේශනාවලට නෙත් සවන් යොමමින් ගත කරන්නේ සැහැල්ලු දිවිපෙවෙතකි. මේ අතර ඇය පසුගිය ඉරිදා තම සියවැනි ජන්මදිනය සැමරුවේ ආගමික වතාවත් මධ්‍යයේය. එහිදී නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කොටපොල අමරකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පවත්වා තම මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට ඇයගේ සියලු දූදරු මුනුපුරු මිනිපිරියෝ එක්ව සිටියහ. විදේශගතව සිටින ඇතැම් දරුවන් තම මෑණියන්ගේ සියවැනි උපන්දිනය වෙනුවෙන්ම මෙරටට පැමිණ සිටීම ඇයට වඩාත් සතුටට කරුණක් විය. ඒ හැම දෙනාගේම ප්‍රාර්ථනය වූයේ තම මෑණියන්ට තවත් බොහෝ කාලයක් නිදුක් නීරෝගිව ගත කිරීමට හැකි වේවා යන්නය.

ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරන අද අපිදු ලොකුවිතාන මාතාවට ආයුරාරෝග්‍ය සම්පත්තිය හා චිර ජීවනය ප්‍රාර්ථනය කර සිටිමු.

අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT