Home » සෙනෙහසේ නවාතැන දරුවන්ය

සෙනෙහසේ නවාතැන දරුවන්ය

by sachintha
October 1, 2024 1:46 am 0 comment

සමාජයීය සත්ත්වයකු ලෙස හැසිරෙන මිනිසා සිය ජීවිත කාලය – ළමා, තරුණ සහ මහලු යන අවධීන් 3 ක් පසු කර මෙලොවින් නික්ම යයි.ක්ෂීරපායී සත්ත්ව ඝනයට අයත් මිනිසා දින 280ක කාලයක් මව් කුසේ සිට මෙලොවට බිහි වූ දින සිට වසර 18ක කාලයක් නික්මෙන තෙක් එනම්, දින 6574ක කාලයක් ළමයෙක් ලෙස ජීවත් වෙයි.

ළමයා සමාජානුයෝජන ක්‍රියාවලියෙන් සමාජගත වී සමාජයට වැඩදායක පුරවැසියකු හෝ අගතිගාමී අයුරින් හැසිරෙන්නකු බවට පරිවර්තනය වේ. ජීව විද්‍යාත්මක සහ ජානමය ගති ලක්ෂණ, ජීවත්වන පවුල් පරිසරය හා මහා සමාජයෙන් සමාජ ගත වන ළමයා නිසි පරිදි සමාජානුයෝජනයට ලක් නොවුණහොත්, සොරොව්ව බිඳී ගිය වැවක් සේ කිසිම ප්‍රයෝජනයක් නැති හානිකර පුද්ගලයකු බවට පත් වේ. ළමා කාලය මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම අවධිය වන අතර, ජාතියක පැවැත්ම,නොපැවැත්ම තීරණය කරන ප්‍රධානම සමාජ සාධකයයි.එමෙන්ම,මිනිස් වර්ගයාගේ සෙනෙහස තැන්පත් කරන මහා බැංකුවයි.එවන් වටිනාකමක් ඇති ළමා ලෝකය ඔපවත් කිරීම පිණිස ළමයින් වෙනුවෙන් වෙන් කර ඇති ඔක්තෝම්බර් 01 වැනි දිනය හඳුන්වනුයේ ලෝක ළමා දිනය ලෙසයි.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව “වැඩිහිටියන්ගේ ආයෝජන දරුවන් වෙනුවෙන් වූ ආයෝජන” යන්නයි. තේමාවට අනුව ‍ආයෝජනය ගැන කිසියම් වූ අර්ථ කථනයක් පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීමට සිතමි.මිල මුදල්, යාන වාහන, ගේ දොර, ඉඩකඩම් වැනි භෞතික සම්පත් සේම ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව වැනි අභෞතික සම්පත් ආයෝජනයක් බවට පත් කළ හැකි නම් එය ආයෝජනය කළ හැක්කේ දරුවන්ගේ හදවතේ බව සිහිපත් කරමි. වැඩිහිටි ඔබ කායිකව හෝ මානසිකව දුර්වල වූ අවස්ථාවක ඔබ ආයෝජනය කළ අභෞතික සම්පත් ද දරුවා නමැති බැංකුවෙන් ඔබට ලැබේ. එහෙත් ඔබ එකී බැංකුවේ තැන්පත් කර ඇත්තේ වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව සහ මසුරුකම නම් ඔබට ලබාගත හැක්කේ ද ඔබ ආයෝජනය කළ දේම පමණි.සමහර වැඩිහිටියන් වැරදි දේ ආයෝජනය කර එහි ප්‍රතිඵලයක් ලෙස මහලු විය ගත කිරීමට සිදුවනුයේ වැඩිහිටි නිවාසවලය.

ළමා කාලය පුද්ගල ජීවිතයේ ඉතා වැදගත් ම අවධිය වන අතර, සුන්දරත්වය පිරි මනරම් මල් උයනක් වැනිය. කෙළිදෙලෙන් ජීවිතය ගෙවන දරුවන් ආදරය, සෙනෙහස තුළ වර්ධනය වන්නේ නම් ඔවුන් කිසිදු සමාජයකට අහිතකර හැසිරීම් ප්‍රගුණ කළ පුද්ගලයන් නොවන්නේය. මිහිතලය සුන්දර ලෝකයක් කරනු පිණිස ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ළමයින් වෙනුවෙන් හඳුන්වා දී ඇත. ඊට සමගාමීව නීති පද්ධතිය සහ ආයතන ව්‍යූහය මෙන්ම නීතිය බලාත්මක කිරීමේ ක්‍රමවේද ද දශක කීහිපයකට පෙර හඳුන්වා දී ඇත. වර්තමානය වන විට ළමයින්ට සිදුවන අපරාධ, නොපනත්කම් සහ හිංසන දෙස අවධානය යොමු කිරීමේදී ගෙන තිබෙන උත්සාහයේ නියම ප්‍රතිඵල අත්කරගෙන තිබේද යන්න අභියෝගයට ලක්ව ඇත. පසුගිය වකවානුවේ පාසල් සිසුන් අතර ඇතිකර ගත් ගැටුම්, මහ මඟදී දරුවන් විසින් සිදු කරන ලද අපරාධ මෙන්ම මිනිස් ඝාතන,මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවීම හා නොයෙකුත් නීති විරෝධී ක්‍රියා,ඒ පිළිබඳව ගැඹුරින් සිහිපත් කරන සාධකයන්ය.

ළමා කාලයේ දින 1826ක් ගත කරනුයේ පූර්ව ළමා අවධිය වන අතර, අධ්‍යාපනයේ ආරම්භක අවධියයි. ඉන් අනතුරුව ඍජුවම විධිමත් අධ්‍යාපනයට යොමු වන ළමයා සිය අධ්‍යාපනය වෙනුවෙන් දින 4748ක් ගත කරනුයේ පාසල් ශිෂ්‍යයකු ලෙසයි. පෞද්ගලික හෝ රජයේ පාසලක වේවා ඔහු ශිෂ්‍යයකු ලෙස ගත කරන ජීවිතය ලෝකය සුවපත් කරන සුන්දර මිනිසකුගේ භූමිකාවට පදනම සපයයි. විධිමත් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ නම් නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වන අතර, ලෝකයේ බොහෝ රටවල් අපේ රට මෙන් රජයේ මැදිහත්වීමෙන් දරුවන් වෙනුවෙන් සම අධ්‍යාපන අවස්ථාව ලබාදී ඇත.මෙකී අවධිය ඉතාම පරිස්සමෙන් ළමයා මෙහෙයවිය යුතු අවධියක් වන අතර, ඒ සඳහා මව්පිය සහාය ද අත්‍යාවශ්‍ය අංගයකි.

දුප්පත්කම, නිසි අධ්‍යාපනයක් නොලැබීම, මව්පියන් අහිමිවීම සහ වැඩිහිටියන්ගේ රැකවරණය නොලැබීම යන කරුණු මත ළමයින්ගේ මානසික ශක්තිය හීන වී කායික වශයෙන් රෝග ඇතිවීමට ද, නියමිත පරිදි ළමා කාලයේ කායික හා මානසික වර්ධනය සිදු නොවීමට ද, ළමයින් විෂයෙහි ඇති තවත් අභියෝගයකි. වැඩිහිටියන් විසින් දරුවන් වෙනුවෙන් කළහැකි දෙයක් වේ නම් එය ළමා කාලයේ ඔවුන්ගේ කායික හා මානසික වර්ධනය වෙනුවෙන් කළ හැකි නම් ළමයින් විෂයෙහි බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ.

වර්ෂය වාර්තා වූ සංඛ්‍යාව

2019 3289

ළමා ලිංගික 2020 3397

අපයෝජනය 2021 3249

2022 2986

2023 3177

වර්ෂය වාර්තා වූ සංඛ්‍යාව

පවුල් ආරවුල් 2019 102724

2020 99025

2021 105469

2022 111709

2023 113188

වර්ෂය වාර්තා වූ සංඛ්‍යාව

භාර්යාව හෝ 2019 21077

ස්වාමිපුරුෂයාගේ2020 19258

හිරිහැර හෝ 2021 20500

නොසලකා හැරීම 2022 22358

පිළිබඳ පැමිණිලි 2023 22548

වර්ෂය වාර්තා වූ සංඛ්‍යාව

2019 129765

නිද්‍රාජනක 2020 134125

මත්ද්‍රව්‍ය වැටලීම් 2021 109242

2022 153564

023 189896

වර්ෂය වාර්තා වූ සංඛ්‍යාව

2019 1324

රිය අනතුරුවලින් 2020 1010

මිය යාම 2021 2513

2022 2515

2023 2321

වර්ෂය වාර්තා වූ සංඛ්‍යාව

2019 3756

2020 2939

බරපතළ අනතුරු 2021 6401

2022 6231

2023 6273

වර්ෂය වාර්තා වූ සංඛ්‍යාව

2019 467

අධිකරණය තුළ 2020 421

බොරු සාක්ෂි දීම 2021 691

2022 97

2023 150

වෙනත් වැරදි සම්බන්ධව සංඛ්‍යා දත්ත අධ්‍යයනය කිරීමේදී කොවිඩ් වසංගතය හේතුවෙන් එකී සිද්ධීන්වල අඩුවක් පෙන්නුම් කළ ද, ළමා ලිංගික අපයෝජන වාර්තාවීම අඩුවක් සිදු වී නැත. එසේම පසුගිය වසර 05 තුළ පවුල් ආරවුල් වාර්තාවීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය ක්‍රමයෙන් වැඩිවී ඇත. අප සමාජය තුළ විවිධ වූ මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද වැටලීම් පිළිබඳව පසුගිය වසර 05 පිළිබඳව අවධානය යොමු කිරීමේදී වාර්තා වී ඇති නිද්‍රාජනක මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාණය ද ඉහළ අගයක් ගනී. තවද, 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වාර්තා වී ඇති රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව ක්‍රමිකව වැඩිවී ඇත. මීට අමතරව අධිකරණය තුළ බොරු සාක්ෂි දීම පිළිබඳ වාර්තා වී ඇති නඩුකර ද සැලකිය යුතු මට්ටමක පවතී.

ඉහත සංඛ්‍යා ලේඛන ගෙනහැර දක්වා ඇත්තේ, අප සමාජයේ පුරවැසියන්ගේ හැසිරීම පිළිබඳ කිසියම් වූ අවබෝධයක් ලබාගැනීමටය. අප සමාජයේ හඳුන්වාදිය යුත්තේ මිනිසුන් තුළ වෛරය, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව වැනි ප්‍රාථමික සමාජ ලක්ෂණ ප්‍රකට වන ක්‍රමෝපායන් නොව සංහිඳියාව, කරුණාව, මෛත්‍රිය ජනිත වන්නා වූ සැලසුම්ය. ඒ තුළින් සමාජයේ අන්‍යෝන්‍ය සුහදත්වයක් ඇති වී විනයගරුක සමාජයක්, පුරවැසියන් අතරේ එකිනෙකාට ගරු කරන හැසිරීම් රටාවක් සහ තම ආගම, ධර්මය තුළින් පෙන්වා දී ඇති උතුම් මිනිස් ගුණධර්ම පැතිරී ගිය සමාජයක් නිර්මාණය වීමට ඉඩ හැරීමයි.

ඩබ්ලිව්.එස්.ප්‍රියංකර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT