හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සරම කැහැපට ගහගෙන පාරේ යන්න පුළුවන් රටේ හිටපු එකම මන්ත්‍රීවරයා බව හොරවල නීග්‍රෝධාරාම විහාරාධිපති තෙබුවන සුභූති හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර ඊයේ (30) පස්වරුවේ මතුගම හොරවල නිවෙසේ අවමගුල් උත්සවයේ අනුශාසනාවක් සිදු කරමිනි.
නලින් වෙල්ගම මහතා පිළිගැනීමේ කථාව සිදු කිරීමෙන් පසු ආගමික වතාවත් සිදු කළේය.
මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ යටදොළවත්ත වාචිස්සරාරාමාධිපති යටදොළවත්තේ චන්ද්‍රසිරි හිමියෝ මෙසේද පැවසූහ.
කුමාර වෙල්ගම මහතා දුක් විඳින ජනතාවගේ දහඩය හඳුනන ජන නායකයෙක්. ආගමට දහමට මෙහෙවරක් කළ සුවිශේෂී චරිතයක් බැවින් මේ අවසන් ගමන් යන්නේ කළුගංතොට සිංහයා බව අප මතක තබා ගත යුතුයි.
පැවිදි අනුශාසනාවලින් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ශෝක පණිවිඩය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශෝක පණිවිඩය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාත් අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළාය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, රෝහිත අබේගුණවර්ධන, හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සංජීව එදිරිමාන්න, මොහොමඩ් යූසුෆ් සහ ඇන්තනී ප්‍රියා ඇතුළු මහත්ම මහත්මීහු ගිහි ගුණකථන සිදු කරන ලදි.
එස් .ඒ. වෙල්ගම සහ බියට්‍රිස් වෙල්ගම යන දෙපොළට දාව 1950 අප්‍රේල් මස 5 වැනිදා කොළඹ වැල්ලවත්තේදී උපන් කුමාර වෙල්ගම මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
සහෝදර සහෝදරියන් දස දෙනෙක්ගෙන් පවුලේ හයවැනියා වූ කුමාර වෙල්ගම මහතා තේජා වෙල්ගම මහත්මිය සමඟ විවාහ වී ඇති අතර, ඔහු දරු දැරියන් සිව්දෙනකුගේ ආදරණීය පියෙකි.
මතුගම හොරවල නිවෙසේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය රැගත් රිය පෙරහර මතුගම පාන්තිය ආදාහනාගාරය දක්වා රැගෙන විත් අවසන් කටයුතු සිදු කරන ලදි.
හිටපු ඇමැති කුමාර වෙල්ගමගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් වැල නොකැඩී හොරවල නිවෙසට පැමිණියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත, රෝහිත අබේගුණවර්ධන, රාජිත සේනාරත්න, ඒ.එච්.එම්. ෆවුසි, තිස්ස විතාරණ, රොෂාන් රණසිංහ, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල සහ ලලිත් වර්ණකුමාර ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක