අධ්‍යාපනය කියන්නේ ජීවිත යථාර්ථය, දැනුම් ලෝකය තුළ පිහිනා යා හැකි සුන්දර තැනක්
ආදර්ශ කතාන්දර ආශ්‍රයෙන් දරුවන්ට ඉගැන්වීම අද පෙළපොත්වල නෑ
ගුණධර්මවලින් ළමා පරපුර තුළ හිස් බවක් තිබෙනවා
ළමයා යනු සමාජයෙහි කැඩපතයි. නූතන ළමයා වනාහි නූතන සමාජයෙහි පිළිබිඹුවයි. සමාජයෙන් විනිර්මුක්ත වුණු ළමයකු නිර්මාණය කිරීමට වඩා වැඩිහිටි සමාජයේ කාර්යභාරය වන්නේ ළමයා විෂයයෙහි දෘඪ ලෙස පවත්වාගෙන යා යුතු අඛණ්ඩ සුපරික්ෂාකාරී බවයි. මේ මාතෘකාව අළලා අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ දර්ශනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චමිලා සිරිවර්ධන සමඟ කළ සාකච්ඡාවකි මේ.
මනුෂ්‍යයාගේ උපතේ සිට මරණය දක්වා වූ කාලය තුළ ළමා විය යනු සුවිශේෂී කාල රාමුවක්. ඒ සඳහා පොදු නිර්වචනයක් තිබෙනවා ද ?
වයස පදනම් කරගෙන ළමයා යනු කවුද කියන කාරණය විග්‍රහ කළහොත් ලෝකයේ පිළිගත් පොදු නිර්වචනය දෙන්නේ යුනෙස්කෝවයි. යුනෙස්කෝ නිර්වචනයට අනුව වයස අවුරුදු 18ට අඩු නම් ළමයකු ලෙස පිළිගන්නවා. නමුත් මේ නිර්වචනය ඒ ඒ සමාජයන් තුළ පිළිගන්නේ විවිධාකාර විදිහටයි. ඒ වගේම රටින් රටටත් මේ වයස කියන නිර්ණායකය වෙනස් විය හැකියි. ශ්‍රී ලංකාවේ නම් වයස අවුරුදු 14-16 පමණ තෙක් ළමයෙක් ලෙස සාමාන්‍ය පිළිගැනීමයි. ඒ කියන්නේ දරුවකු වැඩිවියට පත් වන තෙක් ළමයා ලෙස හඳුනා ගන්නවා. යොවුන් විය නව යොවුන් විය ගැන කතා කරන්නේ මේ වයස පසු කිරීමෙන් අනතුරුවයි.
නූතන ළමයා යනු කවුද යන්න මීට දශකයකට පෙර පැවති හඳුනාගැනීමට වඩා වෙනස් බවක් අපිට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව ඔබේ විග්‍රහය කෙබඳු ද ?
එය සමාජ සහ සංස්කෘතික විපරිණාමයේ එක්තරා ප්‍රතිඵලයක් වගේම අපි මුලින් සඳහන් කළ ජීව විද්‍යාත්මක කාරණයත් එයට බලපා තිබෙනවා. අද ළමයකු වැඩිවියට පත් වන්නේ මීට දශකයකට පෙර එම ජීව විද්‍යාත්මක හා හෝමෝන ක්‍රියාවලිය සිදු වූ සාමාන්‍ය වයස් සීමාව තුළ නෙමෙයි. ළමයකු වැඩි විය පැමිණීම කියන්නේ විවාපත් වීමට සුදුසු බවට පත්වීමයි. නමුත් අද අවුරුදු 6-8 වයසේ ඉතාමත් ළාබාල වියේ දීම විශේෂයෙන් ගැහැනු දරුවන් වැඩිවියට පත් වෙනවා. මෙය සංකීර්ණ ආහාර රටාවත් සමඟ ඇතිවුණු විපර්යාසයක ආසන්නතම ප්‍රතිඵලයක්. මෙහි අනෙක් ප්‍රතිඵලය තමයි නිසි වයස සම්පූර්ණ වීමට පෙර ඇති වන ලිංගික ආකර්ෂණය මත අඩු වයසින් විවාහපත් වීමත් සිද්ධ වෙනවා. මීට හේතුව ළමයා ඇසුරු කරන වටපිටාව තුළින් ඇතිවන බලපෑම වෙන්න පුළුවන්.
ඔබ සඳහන් කළ පරිදි ජීව විද්‍යාත්මක විග්‍රහය සහ චින්තනමය වෙනසයි අද ලෝකයේ වඩාත් කතාබහට ලක් වන්නේ. එහෙම නේද ?
ඇත්තෙන්ම ඔව්. ශාරීරික වෙනස්කම්වලට වඩා මානසික වශයෙන් නැතිනම් ළමයා තුළ ඇතිව තිබෙන චින්තනමය වෙනස්කම් අද සංකීර්ණයි. එම විපර්යාසය අපිට එකවර හඳුනා ගැනීමට අපහසු තරම් ව්‍යාකූලයි. මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ අද ළමයා ජීවත් වන සමාජ පරිසරයේ ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. මීට දශකයකට පෙර සිටි ළමයාට වඩා අද ළමයා නව තාක්ෂණික ලෝකයත් සමඟ නිරන්තරයෙන් ගැටෙන කෙනෙක්. මේ නිසා නූතන ළමයා යන සංකල්පය මෙන්ම ජීවියා ද හඳුනා ගැනීම වඩාත් සූක්ෂ්මව සිදු විය යුතු දෙයක්. මේ තත්ත්වය අද හඳුනාගන්න පහසුම අවධිය පූර්ව ළමා වියයි. මීට අවුරුදු දහයකට පමණ පෙර දරුවා, පෙර පාසලකට ඇතුළත් කළේ වයස අවුරුදු 4-5 සම්පූර්ණ වූ විටයි. නමුත් අද අවුරුදු දෙක හමාර තුන වන විට ළමයා පෙර පාසලේ සාමාජිකයෙක්. ඔහු, ඇය නොපැකිළව ඒ සමාජයට නම්‍යශීලී වෙනවා. මවුපියන්ගේ ඇස් මානයෙන් මිදී ළමයා විවෘත පරසරයට නිරාවරණය වෙනවා. මේ නිසා අධි ක්‍රියාකාරී ළමයෙක් නිර්මාණය වී තිබෙනවා. අවුරුදු 20-25 වයසේ දී මනසට ග්‍රහණය වන කාරණා නූතන ළමයා අවුරුදු 16 දී අල්ලා ගන්නවා. මෙම චින්තනමය වෙනස්කමක්.
මෙය හොඳ තත්ත්වයක් ද ?
මේ කාරණය විවිධාපන්නයි. නව තාක්ෂණයත් සමඟ ගැටී බිහි වන ළමයා හොඳ නරක වෙන් කර ගන්නේ කොහොමද , ඒ සඳහා ළමයා බුද්ධියෙන් මුහුකුරා ගොස් තිබෙනවා ද කියන කාරණයයි වැඩිහිටි සමාජය විසින් අවබෝධ කර ගත යුත්තේ. මේ තත්ත්වය ළමයාගෙන් ළමයාට වෙනස් වන නිසා නව තාක්ෂණික ලෝකය තුළ වැඩෙන තමන්ගේ දරුවා කෙරෙහි පෞද්ගලිකව විමර්ශනය කිරීම වැඩිහිටි සමාජයට පැවරී ඇති භාරදූරතම වගකීමයි. අද අපිට සාම්ප්‍රදායික ළමයෙක් බලාපොරොත්තු වෙන්න බෑ. තාක්ෂණයේ යහපත් දිශාවට සමගාමීව ඉදිරියට යන ළමයා සමාජය විෂයයෙහි ප්‍රශ්නයක් නොවුණත් අයහපත් තැන් අල්ලා ගෙන ඒ සමඟ ඉදිරියට යන ළමයා අතිශය බරපතළ සමාජ ඛේදවාචකයකට අඩිතාලම දමනවා. මේ නිසා ළමයා පිළිබඳව දැඩි සුපරික්ෂාකාරී බව අත්‍යවශ්‍යයි.
කොවිඩ් අර්බුදයේදී අතුරු ප්‍රතිඵලයක් ලෙස නව තාක්ෂණයට වහල් වුණු ළමයෙක් නිර්මාණය වුණු බවට සමාජ කතිකාවක් තිබෙනවා. මෙයට ඔබ කෙතරම්දුරට එකඟ වෙනවා ද ?
කොවිඩ් කාල සීමාව විශාල සහ කෙටි කාලයක් තුළ තාක්ෂණික විපර්යාසයක් සිදුවූ මානව ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක්. ඉතා කෙටි කාලයක් තුළ ළමයා තාක්ෂණික ලෝකයකට විවෘත වුණා. එහි හොඳ සහ නරක ප්‍රතිඵල දෙකම තිබෙනවා. නමුත් විනාශකාරී පැත්තෙන් ගලවාගෙන තාක්ෂණයෙහි හොඳ පැත්ත හසු කර ගැනීම සෑම ළමයෙක් අතින්ම සිදු නොවුණා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් වැඩිහිටි සමාජය සමඟ නිරන්තර ඝට්ඨනයක් සහිත ළමයෙක් නිර්මාණය වීම කැපී පෙනෙන කාරණයක්.
තාක්ෂණය නිසා ළමයා හුදෙකලා වී සිටිනවා ද ?
හුදෙකලා වීම කියන්නේ නිහඬව සිටීම නෙමෙයි. ඉස්සර දරුවන් යම් යම් දේවල් ඉල්ලා මවුපියන් අබියස දැවටෙනවා. ඉන් නොනැවතී කරදර කරනවා. එයින් ද නොනැවතී චිත්තවේග පාලනය නොකර ගෙන අවේගය මුදා හරිනවා. තාක්ෂණය මානව සමාජයට තදබල ලෙස කිඳා බැස නොතිබුණු කාලයේ අපි මුලින් සඳහන් කළ චිත්තවේග පාලනය නොකරගෙන තම ඉල්ලීම් දිනා ගැනීමට දැරූ වෙහෙස ද ප්‍රතිඵල රහිත වූ විට ළමයා හුදෙකලා වෙනවා. නමුත් දැන් ළමයා එහෙම හුදෙකලා ද ? නෑ. බැලූබැල්මට අපිට පෙනෙන්නේ ළමයා හුදෙකලා වී ඇති බවයි. නමුත් එසේ සිදු වී නෑ. වැඩිහිටියන්ගෙන් නොලැබුණු තම ඉල්ලීම්, විඳීම් වෙනත් ක්‍රමවලින් ඉතා ක්ෂණිකව සොයා ගෙන යනවා. ජංගම දුරකතනය සහ පරිගණකයයි ළමයා ඒ සඳහා අතට ගන්නේ. මේ ක්‍රමයෙන් දැන් ළමයා ගලවා ගැනීමට යාම හෝ සම්පූර්ණයෙන් විනිර්මුක්ත කිරීම කිසිසේත්ම කළ නොහැකි කාරණයක් බව වැඩිහිටි සමාජය තරයේ අවබෝධ කර ගත යුතුයි. අවශ්‍ය වන්නේ තාක්ෂණික ලෝකයෙන් ළමයා ඇත් කිරීම නොව ළමයා විසින් හොඳ, නරක අල්ලා ගන්නා ආකාරය පිළිබඳව සුපරික්ෂාකාරී වීමයි.
ළමයින් තාක්ෂණික ලෝකයේ ඇබ්බහිවීම්වලට ලක්ව ඇත්තේ වැඩිහිටියන් කාර්යබහුල ජීවන රටාවකට අවතීර්ණ වීම නිසා නොවෙයි ද ?
වයස අවුරුදු 18-20 වනතුරු ඒ ඒ අවධීන්වලදී ළමයා මවගෙන්, පියාගෙන් අපේක්ෂා කරන උණුසුම, රැකවරණය වෙනස්. මවගේ පියාගේ ස්පර්ශය මානව සමාජයේ කුමනාකර විපර්යාසයන් වුණත් ළමයා විසින් එදා මෙන්ම අදත් අපේක්ෂා කරන දෙයක්. අද එය නොලැබෙන්නේ දරුවන් ළඟ මවුපියන් නොමැති නිසයි. අපේ දිවට දැනෙන රස පහක් තිබෙනවා. ලුණු, ඇඹුල්, තිත්ත , කහට සහ පැණි රසයි. මේ රස නොදන්නා ළමයා තුළ රසවින්දනයක් නිර්මාණය වෙන්නේ නෑ. ආදරය, රැකවරණය උගන්වන්න බෑ. ළමයාට දැනෙන්න ඕනෑ. දනවන්න ඕනෑ. එහෙම වුණොත් යහපත් පෞරුෂයක් ඇති ළමයෙක් සමාජගත වෙනවා. එසේ නොවුණොත් බිහි වෙන්නේ කිසිම සංවේදීතාවක් නැති හිත් පිත් නැති කෘත්‍රිම කයක් සහ මනසක් සහිත ජීවියෙක් පමණයි.
තාක්ෂණය යන්න වැරැදි තැනින් අල්ලා ගත් වැඩිහිටියන් බටහිර සමාජයට ස්පර්ශ කරවීමේ අරමුණින් අධ්‍යාපනය සඳහා දරුවන් විදෙස්ගත කිරීම රැල්ලක් බවට පත්ව තිබෙනවා නේද?
තමන් උපන් ජාතිය සහ ආගම පිළිබඳ හැඟීම තම පරිසරය තුළින් පිළිබිඹු වන පුරුෂාර්ථ ඇගයීම තුළ තමයි සමාජ පැවැත්ම රඳා පවතින්නේ. තම රටට සේවය කිරීම කියන උත්තුංග ගුණාංගය දරුවන් තුළ පිහිටින්නේ මවුපියන්ගේ අභාසය මතයි. විදෙස් රටක උසස් අධ්‍යාපනයකට ළමයින් යොමු කිරීම අපි කිසිසේත්ම බැහැර කරන්නේ නෑ. නමුත් පෙරළා රටට සේවය කිරීම කියන සිතුවිල්ල අද දරුවන්ගේ මනසින් උගුල්ලා දමා ඇත්තේ වැඩිහිටි සමාජය විසින්. ඒ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික, දේශපාලන, සමාජ ක්‍රියාවලිය නිසා වෙන්න පුළුවන්. නමුත් එය බරපතළ ඛේදවාචකයක්. ඉන් රටට අනාගතයක් නෑ වගේම දරු පරපුර ද කායිකව, මානසිකව කිසියම් හෝ මොහොතක අතරමං වෙනවා.
පවතින අධ්‍යාපන රටාව පරිපූර්ණ දරුවකු බිහි කිරීම සඳහා වූ මාර්ගයෙන් පිට පැන ඇති බවට විවේචන තිබෙනවා. මේ පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?
පවුල සහ සමාජය තුළින් ගොඩනැඟෙන දරුවා යහපත් පුරුෂාර්ථවලින් ඔපමට්ටම් කරන්නේ අධ්‍යාපනය තුළිනුයි. එක පැත්තකින් දැනුමින් සන්නද්ධ කරනවා. අනෙක් අතින් ගුණධර්ම උගන්වනවා. මේ කාරණයෙන් වෙනස් අරමුණක් ජාතික අධ්‍යාපනය තුළ නොතිබිය යුතුයි. මේ ඉලක්කය අධ්‍යාපනය තුළින් ස්ඵුට විය යුතුයි. ඒ භාරදූර කර්තව්‍යය පැවරී තිබෙන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්ටයි. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කාර්යභාරය කුමක්ද යන්න තේරුම් බේරුම් නොකර ගැනීමේ ප්‍රශ්නයක් අපේ රටේ පැහැදිලිවම තිබෙනවා. ළමයින්ට අනර්ථකාරී දේ විවෘතවීමට ඉඩ හැර අයාලේ යන බවක් තිබෙන බවයි අපිට හැඟෙන්නේ. ලෝකයේ වෙනත් රටවල් තම හදවත ලෙස සලකන්නේ දරු පරපුර.
ජීවිතය පන්නරය ලබන එක තැනක් පන්ති කාමරය. අද පාසල් අධ්‍යාපනය කොයිබට ද ?
ඇත්තෙන්ම ප්‍රශ්නකාරියි. අධ්‍යාපනය කියන්නේ ජීවිත යථාර්ථය, දැනුම් ලෝකය තුළ පිහිනා යා හැකි සුන්දර තැනක්. අපි ගත කළ ළමා විය තුළ ඒ නෑඹුල් සුවඳ පන්ති කාමරය තුළ විහිදුණා. ළමයි අධ්‍යාපනය කළේ සුන්දර මනෝභාවයන් සමඟ. ප්ලේටෝ පවසන්නේ ආදර්ශ කතාන්දර ආශ්‍රයෙන් දරුවන්ට උගන්වන්න කියන එකයි. අද පෙළපොත්වල එහෙම දැනෙන ගතියක් නෑ.
නූතන ළමයාට වැඩිහිටි සමාජය ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේද ?
අද දරුවන් විචක්ෂණශීලියි. ඔවුන් අවතක්සේරු නොකළ යුතුයි. යමක් නිරන්තරයෙන් පුරුදු පුහුණු කිරීම තුළයි එය ජීවිතයට කිඳාබහින්නේ. නිරන්තර අභ්‍යාසය තුළින් යහපත් මානව ධර්මතාවලින් ගිලිහුණු දරුවාත් යථා තත්ත්වයට ගන්න පුළුවන්. එය ගුරුවරයාටත් පැවරී ඇති ජාතික කර්තව්‍යයක්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට හරිම ගොරෝසුයි. ශිෂ්‍යත්ව විභාග ශාලාවෙන් එළියට එන දරුවා අපිට කියන්නේ “දැන් මම පාවෙනවා වගේ දැනෙනවා” කියලා. කෙතරම් පීඩනයක් දරුවා මුදා හැර ඇත් ද ?
අද රටට අවශ්‍ය වන්නේ කුමනාකාර ළමා පරපුරක් ද ?
අද දැනුම සොයා ගෙන යාමට ඕනෑ තරම් විභවතාවන් තිබෙනවා. තාක්ෂණික ලෝකය පෘථුල ලෙස විහිදී තිබෙනවා. ඒත් සමඟ ළමා සමාජයට විනාශකාරී දේවලුත් ගලාගෙන එනවා. මේ සියල්ල තෝරා බේරා ගැනීමට ළමයින්ට වැඩිහිටි සමාජය විසින් මඟපෙන්විය යුතුයි. අද දැනුමින් සන්නද්ධ දරුවන්ගේ රික්තයක් නෑ. නමුත් ගුණධර්මවලින් ළමා පරපුර තුළ හිස් බවක් තිබෙනවා. රටට, ජාතියට, හැදු වැඩූ මවුපියන්ට සුවඳ විහිදුවන්නේ නැණ නුවණ ගුණ යහපත් දරුවන්ම පමණයි.
සකුන්තලා ජයසිංහ