දරුවන් වෙනුවෙන් එක් දිනයක් වෙන් කරන්නේ කුමකටදැයි විවිධ මත පළ වුවද දුවන, වෙහෙසෙන සමාජයේ දරුවන්ට එක් දිනයක එක් පැයක් හෝ වෙන් කිරීම ඉතා අපහසු කාර්යයක් වී ඇත. දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ඉතා කාර්යබහුල වූ වත්මන් සමාජයේ හැල්මේ දුවන යන්ත්‍ර බවට ලොකු, කුඩා සෑම සියලු දෙනා පත්වන්නේ නිතැතිනි. එහෙත් මේ යන්ත්රානුසාර ජීවිතයෙන් මඳකට හෝ ඉවත් වීමට දරුවන් තුළ ඇති සැඟවුණු ආශාව හඳුනාගැනීමට රටක වගකිවයුතු වැඩිහිටි ප්‍රජාව ප්රමුඛ සෑම සියලු දෙනා වගබලා ගත යුතුය. ලෝක ළමා දිනය යෙදෙන අද (ඔක්තෝබර්) පළමු වැනි දින මේ සම්බන්ධයෙන් අප විශේෂයෙන්ම කතා කළ යුතු වන්නේ ද එහෙයිනි.
දරුවන් නැතහොත් ළමුන් යනුවෙන් හඳුන්වන්නේ රටක අනාගතයටය. රටක අනාගතය සුරක්ෂිත කිරීමෙහිලා වැඩිහිටි සැමට විශාල වගකීමක් පවතියි. රටේ අනාගතය ළමුන් වෙද්දී ඒ අනාගතය සාදන වැඩිහිටියන්ට ද සුවිශේෂී වටිනාකමක් හිමි වන නිසාම ජාත්‍යන්තර වශයෙන් මේ දෙපිරිසම වෙනුවෙන් එක් දිනයක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ළමා හා වැඩිහිටි දිනය සෑම වසරකම ඔක්තෝබර් මස පළමු වැනිදා සැමරීමට කටයුතු කර ඇත. ලෝක ළමා දිනය නිශ්චිත වශයෙන් එක් දිනයක සැමරීමෙහි පුරෝගාමියා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලැබූවකු වන චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා ය. ඔහු 1856 වසරේ එනම්, මීට 168 වසරකට පෙර රටක අනාගතය වන දරුවන් සුරක්ෂා කිරීම හා ඔවුන්ගේ අනාගතය රටට වැඩදායී අන්දමින් සකසුරුවම් කිරීම උදෙසාත් දරුවන්ගේ සුබසිද්ධිය සඳහාත්, ‘රෝස දිනය’ නමින් හැඳින්වූ දරුවන්ගේ දිනය පසුකලෙක ලෝක ළමා දිනය නමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දිනය බවට පත්විය. මෙය සැමරීමට එක් එක් රටවලට වෙනස් දිනයන් වෙන් කර ගත්ත ද ඒ සෑම දිනකම අරමුණ එකම අරමුණක් වීම සුවිශේෂී සිද්ධියකි. 1956 ජූනි දෙවැනි දා වුණු ඉරිදා දිනයක පළමු ලෝක ළමා දින සැමරුම සිදු කෙරුණු අතර, ඒ අනුව යමින් විවිධ රටවල් ජූනි පළමු වැනිදාත්, නොවැම්බර් විසි වැනිදාත්, ඔක්තෝබර් පළමු වැනිදාත් ආදී වශයෙන් තව තවත් දිනවල ලෝක ළමා දිනය සමරයි. ශ්‍රී ලංකාවාසී අප විසින් ලෝක ළමා දිනය සමරනු ලබන්නේ සෑම වසරකම ඔක්තෝබර් මස පළමු වැනිදාය.
කෙසේ වෙතත් 1954 වසරේ නොවැම්බර් මස 20 වැනිදා සිට මෙම දිනය වාර්ෂිකව සැමරීම සිදු වූ අතර, 1955 වසර ලෝක ළමා දින සැමරුමෙහි ලා සුවිශේෂී වර්ෂයක් විය. ඊට හේතුව වූයේ, එතෙක් එක් එක් රටවලට වෙන් වුණු විවිධ දිනයන්හිදී සැමරුණු දරුවන්ගේ දවස එම වසරේ සියලු රටවල් එකම දිනයක සැමරීමට කටයුතු කිරීමයි. ඒ වසරේ ලෝක ළමා දිනය සැමරෙන්නේ ඔක්තෝබර් මස පළමු වැනිදාය. ඒ වසරේ එකට සැමරුව ද මේ දිනය තම රටට පහසු දිනයකදී සැමරීමට බාධාවන් නොමැති බව ද එම සැමරුමේදීම ප්‍රකාශ වී තිබිණ. මෙම ලෝක ළමා දින සැමරුම තවදුරටත් ශක්තිමත් වූයේ 1990 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී ළමා ප්රඥප්තිය සම්මත වීමෙනි. ඒ වසරේ දෙසැම්බර් මස 20 වැනිදා එම සම්මත වීමත් සමඟ 1991 වසරේ ජූලි 12 වැනිදා ශ්‍රී ලංකාව ද ඒ සඳහා අත්සන් තැබීය. ඒ අනුව යුනිසෙෆ් සංවිධානයේ දායකත්වයත්, රාජ්‍ය අනුග්‍රහයත් සහිතව ළමා සුබසාධනයත්, ආරක්ෂාවත්, සංවර්ධන කටයුතුත් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ දරුවන් තුළ ගුණධර්ම වර්ධනය කිරීමත්, ඔවුන් තුළ ස්වයං විනයක් ඇති කිරීම මෙන්ම සමාජය පිරිහී යන කාර්යයන්ගෙන් දරුවන් බේරා ගැනීමත් මේ දිනය මුල් කර ගනිමින් සිදු කිරීම සුවිශේෂී වේ.
ලෝක ළමා දිනය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේදී ඉහත කියූ ආකාරයට දරුවන්ටම වෙන්වුණු දිනයක් නම් කරන්නට හේතුපාදක වූ කාරණා සම්බන්ධයෙන් විමසා බැලීම ද අත්‍යවශ්‍ය කාරණයකි. ඒ පිළිබඳ විමසීමේදී ‘ළමා මෙහෙකාර සේවයෙන් දරුවන් මුදා ගැනීම’ මේ දිනය නම් කිරීමෙහි මූලික අරමුණ වශයෙන් හඳුනාගෙන තිබේ. වර්ෂ 1914දී ලෝක යුද්ධය ආරම්භ වී 1918දී එය අවසන් වන විට මුළුමහත් ලෝකය පුරා විශාල විනාශයක් සිදුව තිබිණ. ලක්ෂ සංඛ්‍යාත ජීවිත ඉන් විනාශ වෙද්දී ඒ අතරට දරුවන් ද විශාල වශයෙන් එකතු වී තිබිණ. ලෝක යුද්ධයත් සමඟ වැඩිම හානිය සිදුව තිබුණේ දරුවන්ට යැයි කීවාට වරදක් නැත. මක්නිසාදයත් යුද්ධයෙන් විශාල පිරිසක් මියගොස්, තවත් විශාල පිරිසක් ආබාධිත වෙද්දී උපන් දරුවන් මෙන්ම නූපන් දරුවන්ට ද එහි බලපෑම වසර ගණනාවක් යනතුරුත් බලපා තිබිණ. යුද්ධයේ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන් පවුල්වල අනාගතයේ බිහිවුණු දරුවන් ද විවිධ ආබාධයන්ගෙන් යුක්ත වීම ඉතාම කනගාටුදායක කාරණයක් විය. මෙසේ දරුවන්ට වුණු හානිය පිළිබඳ සලකා බලා 1923 වසරේදී ‘එග්ලන්ටයින් ජෙබි’ නමැත්තියක විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයකට අනුව ඉහත සම්මත කෙරුණු ළමා අයිතිවාසිකම් ප්‍රකාශය බිහි විය. එම සමීක්ෂණයට අනුව වගන්ති 5ක් දරුවන් වෙනුවෙන් එම අයිතිවාසිකම් ප්‍රකාශයට ඇතුළත්ව තිබිණ. 1924 වන විට එය ලොව පුරා පිළිගත් ක්‍රියාත්මක තත්ත්වයට පත් ප්රකාශනයක් බවට පත්වන්නේ එතෙක් විවිධ සීමාවන් යටතේ පැවති දරුවන් වෙනුවෙන් වුණු සැලකිල්ල හා රැකවරණයට අගයක් එක් කරමිනි. කෙසේ වෙතත් 1939දී නැවත ලෝක යුද්ධයක් ඇති වී දරුවන්ට තවතවත් හානි සිදු වෙද්දී 1945 වසර වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තවත් අලුත් ආකාරයෙන් බිහි වී වගන්ති 10කින් සමන්විතව ළමා අයිතිවාසිකම් පිළිබඳ දෙවැනි ප්රකාශනය ද එළිදැක්වීමත්, පිළිගැනීමටත් පියවර ගෙන තිබිණ. ඒ අනුව 1979 වනවිට ජාත්‍යන්තර ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කිරීමට අවශ්‍ය කරුණු කාරණා ද ක්‍රියාත්මක කෙරිණ. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එය පිළිගැනීම 1990 දී එය ජාත්‍යන්තර නීතියක් ලෙසින් බලගැන්වීමට මඟපෑදීය. ඉහත කී අයුරින් එතැන් පටන් ජාත්‍යන්තර ළමා දිනය නොකඩවා උත්සවශ්‍රීයෙන් මෙන්ම දරුවන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරයි.
මවුපිය රැකවරණය හිමි දරුවන්ගෙන් රැකවරණය ගිලිහී ගොස් තිබීමත්, තරුණ දරුවන් විවිධ සමාජ අසම්මතයන්ට ගොදුරු වීමත් දියුණු වන සමාජයත් සමඟම දියුණු වෙමින් ඉදිරියට පැමිණ තිබීම දරුවන්ගේ පැත්තෙන් බලන කල ඉතා කනගාටුදායක කාරණයකි. දරුවන් වෙනුවෙන් වෙන් වන අද වන් දිනකදීවත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වන්නේ ඒ නිසාය. දරුවන්ට සිදු වන වරදක් දුටු තැන ඊට එරෙහි වන්නට ඔබ නොපැකිළිව ඉදිරිපත් විය යුතු බව මේ සමඟම සිහි තබාගත යුතුය. මක්නිසාදයක් දරුවන් රටේ අනාගතය නම් දරුවන් විනාශ වූ තැන්හි රටක අනාගතයට සිදුවන දේ සම්බන්ධයෙන් ද අපට අනුමාන කළ හැකිය. එවැනි තැන්හි නොබියව ඔබේ ඉදිරිපත් වීම අපේක්ෂා කරන්නේ දරුවන් වරදට පෙළඹීමට තත්පරයක් ඇතිනම්, අවධානයක් ඇති තැන ඔවුන් ඉන් මුදා ගැනීමට තත්පරයකටත් අඩු කාලයක් අවශ්‍ය වන නිසාය. ඊට වයස් භේදයක් නැත. ඔබ කුඩා දරුවකු නම් ඔබේ මිතුරා වරදකට පෙළඹෙන බවට ලැබෙන පළමු ඉඟියෙන්ම ඔහු ඉන් බේරා ගැනීමට ඉදිරිපත් වීම ඔබේ වගකීමකි. ජාත්‍යන්තර වශයෙන් ලෝක ළමා දිනයක් සැමරීමේ අපේක්ෂාව වන්නේ ද එයයි.
එසේ නම් ‘දරුවන් රැකගමු – සමසේ සලකමු’ මැයෙන් නම් කෙරුණු 2024 මෙවර ලෝක ළමා දිනයේදී දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට අපි ද අධිෂ්ඨාන කර ගනිමු. එය පවුලක්, ගමක්, නගරයක්, රටක් වශයෙන් පමණක් නොව, ලොවක් වශයෙන් දිනන්නට මහා අත්වැලක් සපයනු නොඅනුමානය.
චාමිකා මුණසිංහ