මෙදින ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්ධනය වීම හා සම්බන්ධ ඉතිහාසයක් පවතියි.එය මීට පෙර වසර 167 කට පෙර සිදුවීමකි. මේ සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමාය. ඔහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ සුබ සිද්ධිය පිළිබඳ ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේය. එම දිනය රෝස දිනය ලෙස එවකට ඔහු නම් කර තිබුණි.
තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය. බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්විය. එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට විය. ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස පළමු වැනිදා ළමයින්ගේ රැකවරණය හා සුබ සිද්ධිය සැමරීමේ දිනය ලෙස යොදා ගනු ලබයි.
මෙදින තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ළමා ප්‍රඥප්තිය සම්මත වීමත් සමග සිදුවිය. මේ අතීත සිදුවීම් සමඟ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 01 වැනිදා අප ලෝක ළමා දිනය සමරයි. එහෙත් ළමයින්ගේ ආරක්ෂාව ගැන දැන් දැන් ඇහෙන පුවත් නම් එතරම් සුබදායී නැත. මත් උවදුර මෙන්ම තාක්ෂණික විපර්යාසත් ළමයි ගොදුරු කරගෙන තිබෙයි. මේ සියල්ලෙහිම ළමයින් ආරක්ෂා කිරීම අප සතු කාර්යයක් වෙයි. ළමයින්ට සුරක්ෂිත දේශයක් නිර්මාණය කරමින් රටේ අනාගත වෙනුවෙන් ළමුන් සූදානම් කිරීම අපි කාගේත් වගකීම හා යුතුකමය.