Home » කැමරා අධ්‍යක්ෂවරු පාරක් පාරක් ගානේ

කැමරා අධ්‍යක්ෂවරු පාරක් පාරක් ගානේ

by sachintha
October 1, 2024 1:00 am 0 comment

නවෝත්පාදන ලෝකයේ ප්‍රමුඛයකු වන පිලිප් කාන් එහෙමට ජනප්‍රිය නාමයක් නොවුණත් ඔහුගේ නිපැයුම, ඔබගේ දෑතේ ද මේ මොහොතේ රැඳී තිබෙනවා විය හැකිය. කැමරාවක් ජංගම දුරකතනය සඳහා බද්ධ කිරීම සිදු කරන ලද්දේ හෙතෙම විසිනි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ගණිත සහ සංගීත විද්‍යාවේ උපාධියක් ලැබූ කාන්, තාක්ෂණ විෂයක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකි. 1997 ජුනි 11 වනදා, ඔහු ලෝකයේ පළමු කැමරා දුරකතන විසඳුම නිර්මාණය කළේය. කාන් සිය නිර්මාණය සිදු කරන විට ඔහුගේ භාර්යාව දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටියාය. ඇය දියණියක් බිහිකිරීම සහ ඔහු මෙම නව නිර්මාණය බිහි කිරීම සිදු වන්නේ එකටය. තම නව නිර්මාණය අවසන් වූ පසු අලුත උපන් දියණිය බැලීම පිණිස කාන් රෝහලට යන්නේ, නිර්මාණය ද සමඟය. ඔහු සිය ජංගම දුරකතනය, ඡායාරූපකරණ කැමරාව සහ ලැප්ටොප් යන ත්‍රිත්වය ඒකාබද්ධ කර පළමු වරට ඡායාරූපයක් ගනු ලබන්නේ සිය දියණියගේය. එය ජාලගත කර වහා බෙදාහැරීමට ඔහු සමත් විය. අද සෙල්ෆි ගසාගෙන ඒ මොහොතේම වට්ස්ඇප් මාර්ගයෙන් අප පහසුවෙන් ඡායාරූප බෙදා ගන්නේ මෙම තාක්ෂණය ඔස්සේය.

මේ ආකාරයේ තාක්ෂණ විප්ලව පොදු ජනයා අතට පත්වූ වහා, වෙන ආකාරයකට පත්තු වෙන බව අප දන්නේය. මේ කාලයේ සුලබ කියමනක් වී ඇත්තේ, අනතුරක් ආදිය සිදු වූ විට එම මිනිසාට පිහිටවීම පසෙක තබා අහල පහල පිරිවර ඒවා ලයිව් ලබාදීම බහුල බවය. එක්කෝ වීඩියෝ කරති.

ලෝක ළමා දිනය අදය. කැමරා දුරකතන ආදියෙන් සෑහෙන පමණ වැඩ දැමීමේ ශක්‍යතාවක් ඇත්තේ දරුවෝ වෙතය. ඔවුහු මේ ‘තාක්ෂණ ලෝක ධාතුව’ ඇතුළේ පෙකණිය කපන ලද්දෝ බැවින් පසුගිය පරම්පරාව සමඟ ඇති පරතරය මහත්ය. ඒ හේතුවෙන් සදාචාර ආදී සිමාරහිතව මේ භාවිතාව ඉදිරියට යන්නේය. වීඩියෝවක් යනු සජීව ආකාරයෙන්ම දැක්වෙන යමක් වන්නේය. එය චිත්‍රයක් හෝ ඡායාරූපයක් නොවේ. මේ හේතුවෙන් එයින් ලැබෙන පණිවිඩය ඇඟටම දැනී යන්නේය.

මේ තීරුව අද මාතෘකාව සඳහා ගනු ලබන්නේ, එම තාක්ෂණ භාවිතාව විසින් සිදු කර ඇති අයාලේ යෑම් පිළිබඳවය. ඊයේ දිනමිණ ඇතුළු පිටුවක එක හා සමාන පුවත් දෙකක් පළ විය. එකක් විශ්වවිද්‍යාල සිසුවියගේ දෙපා වීඩියෝ කිරීමකි. තමන්ට ඉදිරි ආසනයේ කකුලක් පිට කකුලක් දමාගෙන තරුණිය සිටින විට, අර පුද්ගලයාට එය දරාගැනීමට නොහැකිව තිබේ. එය මතක සිහිවටනයක් නොව, අනෙකාගේ අයිතියක් බව මේ ජාතියේ චරිත සඳහා සිහියට එන්නේ නැත. හෙතෙම සිදු කරන ලද්දේ මෙය වහා වීඩියෝගත කිරීමය. දෙනෝදාහක් මධ්‍යයේ, හීන් සීරුවේ මේ ආකාරයේ ක්‍රියාකාරකම්හි නිරත වන්නෝ බොහෝය.

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලිසියට ගිය ගැටව් දෙදෙනෙක් එහි සිටි කාන්තා නිලධාරිනියකගේ දෙපා ද මේ ආකාරයට වීඩියෝ කළහ. කැමරාකරණය රහසිගත ආකාරයෙන් සිදු විය. ගෙදර ගිය දෙදෙනා, හොඳ සිරස්තලයක් සහිතව එය අප්ලෝඩ් කර වටේටම බෙදාහැරියේය. මේ දර්ශනය පැමිණිල්ලක් වී දැන් දෙදෙනා සිටින්නේ අත්අඩංගුවේය. පාසල් දරුවෝ සුදු ගවුමෙන් පොදු ප්‍රවාහනය භාවිත කරන විට ද මේ ජාතියේ වස්සෝ කුලප්පු වන්නාහ. දියණියකගේ වටිනාකම නොහඳුනන ඒ පිරිස් වහා කැමරා අධ්‍යක්ෂණය සඳහා යොමු වෙත්. ඒ ගණයේ වීඩියෝ ගණනාවක් අන්තර්ජාලයේ සැරිසරන්නේ රටක අසහනයේ මහත දෙහත කියාපාමිනි.

සමහරක් සිය සපත්තුවේ ටෝ එකේ කැමරා සවි කරගෙන කාන්තාවන්ගේ දෙකකුල් අතරේ සපත්තුව තබන්නේය. මේ ආකාරයේ පුද්ගලික වීඩියෝ එකතුවක් අයෙක් පවත්වාගෙන යනවා ඇත. සමහරුන්ගේ සතුට ඊට එහා යන්නේය. ඔවුහු රහසිගත අාකාරයෙන් සිදු කරන ලද වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින්නෝය. ඔවැනි අසභ්‍ය කෙරුවාවල් හුවමාරු වන්නේ ‘අලුතෙන් ලීක් වූ’ යන විශේෂණය යටතේය. ඒවා සඳහාමැ ඇබ්බැහි වූ පිරිසක් වට්ස්ඇප් ගෲප් අටවාගෙන සිටින්නේ හෙයින් දින කිහිපයක් තුළ ඔය වීඩියෝ සතර අතට පැතිර යන්නේය.

මෙහෙම වීඩියෝ කරන අසහනකාර තෙමේ, ඒවා මුහු කරන්නේ අසරණ කතගේ මුහුණ ද සමගය. සමහර විට නම ගම ආදිය ද සඳහන් කරන්නේය. ඔය වැනි දෙයක් වසංගතයක් සේ පැතිර යන විට, අසරණ කත දෙස සරදමින් බලන පිරිස ද ඉහළ යනවා මිස කැමරා අධ්‍යක්ෂ වෙත දෝෂාරෝපණය කරන පිරිස අඩුය. සෑම දරුවෙක්ම පාහේ අතිශය කීකරුභාවයක් ජංගම දුරකතනයට දක්වන්නේ බැවින් ළමා මනස වෙත ද මේ ආකාරයේ සැරිසැරීම් සාමාන්‍යකරණය වී ඇත්තේය. මේ නිසා ඒ සඳහා ළමා මනස ද ලිහිල්භාවයක් ලබාදෙනවා ඇත. මේ බුරුල හේතුවෙන් ටික්ටොක් වැනි සමාජ මාධ්‍යයන්හි දරුවෝ ස්ව කැමැත්තෙන් පළ කරන වීඩියෝ ද ආසන්න වශයෙන් ‘අරවාට’ සමීපභාවයක් දක්වනවා ඇත.

ස්පර්ශය අනුව ලබාදෙන මුදල තීරණය කරමින් සකසන ලද වීඩියෝ සිද්ධි කිහිපයක් පාසල් දරුවන් අතර පසුගිය කාලයේ ප්‍රචාරය වූවේය. අනුරාධපුර ප්‍රදේශයේ වයස අවුරුදු පහළොවක පාසල් දියණියක් සහ වයස අවුරුදු දාහතක පාසල් දරුවන් අතර ලිංගික දර්ශන සහිත වීඩියෝ පට සකස් කරමින්, සමාජ ජාල ඔස්සේ ඒවා ප්‍රචාරය කිරීමක් වාර්තා විය. ප්‍රේම සම්බන්ධතා ඇති පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල දරුවන් ලිංගික ක්‍රියාවලියෙහි යෙදෙමින් ඒවා පටිගත කරමින් වීඩියෝ දර්ශන විකිණීම වැනි නොහොබිනා කටයුතු ද වාර්තා වූ හෙයින්, මේ වැඩේ දැන් ස්වයං ආකාරයෙන් සිදු වන්නේය. වැඩේ පත්තුවී ඇත්තේ අප නොහිතන තාලයකටය.

2022 වසරේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරි ශ්‍රී ලාංකිකයන් ගණන, දෙලක්ෂ පනස් දහසක් පන්නා ඇත්තේය. ඒ කියන්නේ වැඩේ දැන් ස්වයං රැකියාවක් බවටම පත්ව ඇති බවය. මේ තරම් ආස්ථානයක් කරා වැඩේ පත්තු වී ඇත්තේ හෙයින්, ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදී ඇති අද දවසේ මේ රටේ ජන මනස දූෂ්‍ය කරනා සිද්ධි සඳහා දැඩි පියවරකට යා යුතු බව මේ තීරුවේ අදහසය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT